BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
ක්‍රීඩා

ඉම්රාන්ගේ පුතුන්ගේ සාකච්ඡාව විකාශය කළොත් තරගය වර්ජනය කරන බවට PCB තර්ජන!

T

The Leader Desk

August 28, 2026 • 3:56 PM

ඉම්රාන්ගේ පුතුන්ගේ සාකච්ඡාව විකාශය කළොත් තරගය වර්ජනය කරන බවට PCB තර්ජන!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Sky Sports තීරණය හමුවේ පාකිස්තානයෙන් තරග වර්ජන තර්ජනයක්; ECB මැදිහත්වීමෙන් අර්බුදය සමනය වෙයි.
  • තමාගේ ඉල්ලීම ඉටු නොකළහොත් පාකිස්තාන කණ්ඩායම තරගය ක්‍රීඩා නොකර පිටියෙන් පිටවී යන බවට පවා තර්ජනය කර ඇතැයි වාර්තා වනවා.
  • මෙයින් දැඩි කෝපයට පත් PCBය පිටියට නොයන ලෙසට ඔවුන්ගේ ක්‍රීඩකයින්ට දන්වා සිටීම නිසා අප්‍රමාදව ඊට මැදිහත් වීමට එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයට (ECB) සිදුවූ බවට වාර්තා සඳහන් කරනවා.
  • තර්ජන නොතකා විකාශය කළ ඇතර්ටන්ගේ සම්මුඛ සාකච්ඡාව මිනිත්තු 18ක එම සම්මුඛ සාකච්ඡාව සිදුකර තිබෙන්නේ හිටපු එංගලන්ත ක්‍රිකට් නායක හා Sky Sports තරග විස්තර ප්‍රචාරක මයිකල් ඇතර්ටන්.
අකුරු ප්‍රමාණය (Font Size):


සිරගත ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය ගැන ක්‍රිකට් ලෝකයම කතා කරද්දී ලෝඩ්ස් පිටිය උණුසුම් කළ නාටකීය සිදුවීමක්.

පාකිස්තානය සමග ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවක් ක්‍රීඩා කරමින් සිටින එංගලන්තයෙන් විස්මයාකාර සිදුවීමක් වාර්තා වනවා.

ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ඊයේ (බ්‍රහස්පතින්දා) පළමු දිනයේදී පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) තරග විකාශය කරන Sky Sports ආයතනයට කතා කරමින්, හිටපු පාකිස්තාන ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ පුතුන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව එදින දිවා ආහාර විරාමයේදී විකාශය නොකරන්නැයි කියා තිබෙනවා. තමාගේ ඉල්ලීම ඉටු නොකළහොත් පාකිස්තාන කණ්ඩායම තරගය ක්‍රීඩා නොකර පිටියෙන් පිටවී යන බවට පවා තර්ජනය කර ඇතැයි වාර්තා වනවා.

කෙසේ වෙතත් Sky Sports කලින් සැලසුම් කර තිබූ පරිදි ම එම සාකච්ඡාව විකාශය කළා. මෙයින් දැඩි කෝපයට පත් PCBය පිටියට නොයන ලෙසට ඔවුන්ගේ ක්‍රීඩකයින්ට දන්වා සිටීම නිසා අප්‍රමාදව ඊට මැදිහත් වීමට එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයට (ECB) සිදුවූ බවට වාර්තා සඳහන් කරනවා.

තර්ජන නොතකා විකාශය කළ ඇතර්ටන්ගේ සම්මුඛ සාකච්ඡාව

මිනිත්තු 18ක එම සම්මුඛ සාකච්ඡාව සිදුකර තිබෙන්නේ හිටපු එංගලන්ත ක්‍රිකට් නායක හා Sky Sports තරග විස්තර ප්‍රචාරක මයිකල් ඇතර්ටන්. ඔහු, 2023 අගෝස්තු මාසයේ සිට සිරගතව සිටින ඉම්රාන් ඛාන්ගේ පිරිහෙමින් තිබෙන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පාකිස්තානයේ අගමැතිවරයා ට යැවූ ලිපියට අත්සන් කළ ලොව ක්‍රිකට් නායකයින් 21 දෙනාගෙන් කෙනෙක්.

ඇතර්ටන් මේ සම්මුඛ සාකච්ඡාව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පටිගත කර තිබෙන්නේ තරගයට පෙර දිනයේ (බදාදා). එම සාකච්ඡාවේ පූර්ව දර්ශනයක් ද Sky Sports ටෙස්ට් තරගයට පෙර විකාශය කර තිබෙනවා. කෙසේ වෙතත් එම සාකච්ඡාව මේ තරගමාලාවේ රූපවාහිනී අයිතීන් හිමි රාජ්‍ය විකාශන ආයතනය වන PTVය පාකිස්තානයේ පෙන්වා නැහැ.

ටෙස්ට් තරගය පැවැත්වෙන අතරතුර ඉම්රාන් ඛාන්ගේ පුතුන් පූර්ණ අවධානයට ලක්වනු දැකීමට PCBයේ සතුටක් නොතිබූ බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම සාකච්ඡාව රූපවාහිනියෙන් පෙන්වුවහොත් බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම පිටියට නොයන බවට ද පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් කියා තිබෙනවා. එහෙත් එම තර්ජන නොසලකා හරිමින් Sky Sports ඔවුන්ගේ විකාශය දිගටම කරගෙන ගියා. නමුත් ECBයෙන් නියම වේලාවට සිදුවූ මැදිහත්වීමෙන් පාකිස්තාන කණ්ඩායම දිවා ආහාරයෙන් පසු ක්‍රීඩාව සඳහා පිටියට පිවිසියා.

බන්ධනාගාර‌යේ ඉම්රාන් ඛාන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් ලොව පුරා සිටින ක්‍රිකට් නායකයින් පාකිස්තාන අගමැතිවරයාට මේ වන විට ලිපි දෙකක් යවා තිබෙනවා. මෙයින් පළමු ලිපිය පෙබරවාරියේ සැලසුම් කළ ද අවශ්‍ය වෙනස ඇති කිරීමට එය අසමත් වුණා. දෙවැනි ලිපිය මේ සතිය මුල යැවුවේ ඉම්රාන් කෙටි වෛද්‍ය පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසුව යළි අඩිආලා බන්ධනාගාරයට යවනු ලැබූ අවස්ථාවේ.

"සිරගෙදරදී තාත්තාව මරා දමන්න බලනවා" - පුතුන්ගෙන් බරපතල හෙළිදරව්වක්

සම්මුඛ සාකච්ඡාවේදී කරුණු දැක්වූ ඉම්රාන්ගේ පුතුන් වන සුලෙයිමාන් හා කසිම් ඛාන්, තමන් බන්ධනාගාරයේ සිටින තම පියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව බලවත් කම්පාවට පත්ව සිටින බව පැවසුවා. සිරගෙදරදී ඔවුන්ගේ පියාගේ ජීවිතයට බරපතල තර්ජනයක් තිබෙන බව සාකච්ඡාව අතරතුරදී පවා සහෝදරයින් දෙදෙනා අවධාරණය කළා.

“ඔවුන් කරන්නේ මොකක්ද කියා එතරම් පැහැදිලි නැහැ. ඔවුන් බලන්නේ කිසිම ලැජ්ජාවක් නැතුව එයාව එහෙදි මරා දමන්න උත්සාහ කිරීමටයි. හැකි තරම් කාලයක් එහෙ තියාගෙන එයාව නිහඬ කරන්නයි” කසිම් එම සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කළා.

මේ විකාශය සිදුවන්නේ බන්ධනාගාරය තුළ ඉම්රාන්ගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වන සැලකිලිමත් වීම වැඩිවෙමින් තිබෙන පසුබිමක.

1992 ලෝක කුසලාන ජයග්‍රාහී නායකයා ඉස්ලාමාබාද් නුවර ෂිෆා රෝහලට ඇතුළත් කරන ලෙසට පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සතියේ නියෝග කිරීමෙන් පසුව මේ ප්‍රශ්නය උත්සන්න වුණා. එම රෝහල වෙනුවට ඉම්රාන්ව රැගෙන ගියේ රජය විසින් පාලනය කරනු ලබන පාකිස්තානු වෛද්‍ය විද්‍යා ආයතනයට. එහිදී වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසුව ඉම්රාන් නැවත බන්ධනාගාරය වෙත ගෙන ගියා. උසාවි නියෝගය පිළිපැදීමට බලධාරීන් අසමත් වූ බවට චෝදනා කරන ඉම්රාන්ගේ සොයුරියන් හා පුත්‍රයින් ඔහු ඔහුගේ ම වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කිරීමට ඉඩ දෙන ලෙසට දිගටම ඉල්ලා සිටිනවා.

ඉම්රාන්ගේ ජීවිතය වෙනුවෙන් ලෝක ක්‍රිකට් නායකයන් 21ක් එක්වෙයි

පසුගිය සතියේදී මයිකල් ඇතර්ටන් ඇතුළුව හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් නායකයින් 21 දෙනෙක් පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරිෆ් ට යොමු කළ ලිපියකට අත්සන් කරමින්, ඉම්රාන් සිරගත කර තිබෙන කාලය තුළ ඔහුට නියම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසට ඉල්ලා තිබුණා. ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසිලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් යන රටවල හිටපු නායකයින් ද එසේ අත්සන් කළ පිරිසට ඇතුළත්ව සිටියා. මේ අලුත්ම ලිපිය යවා තිබෙන්නේ හිටපු ජාත්‍යන්තර නායකයින් 14 දෙනෙකු විසින් පෙබරවාරි 14 වැනි දින යවනු ලැබූ ලිපියෙන් පසුවයි. එම ලිපියට පාකිස්තාන රජයෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.

දෙවැනි ලිපියට අත්සන් තැබූ හිටපු ක්‍රිකට් නායකයින් 21 දෙනා වන්නේ මයිකල් ඇතර්ටන්, ඇලෙක්ස් බ්ලැක්වෙල්, ඇලන් බෝඩර්, මයිකල් බ්‍රේලි, ග්‍රෙග් චැපල්, ඉයන් චැපල්, ඇලස්ටෙයාර් කුක්, මයිකල් ගැටිං, සුනිල් ගවස්කාර්, ලී ජර්මොන්, ඇඩම් ගිල්ක්‍රිස්ට්, ඩේවිඩ් ගවර්, කිම් හියුස්, නසර් හු‌සේන්, ක්ලයිව් ලොයිඩ්, කපිල් දේව්, අර්ජුන රණතුංග, ඇන්ඩෲ ස්ට්‍රාවුස්, දිලිප් වෙන්සාකාර්, ස්ටීවන් වෝ හා ජෝන් රයිට්.

වසර 2018 සිට 2022 දක්වා පාකිස්තානයේ අගමැති ලෙස කටයුතු කළ ඉම්රාන් ඛාන් එම ධූරයෙන් ඉවත් කරනු ලැබීමෙන් පසුව නඩු ගණනාවක් මත සිරගතව සිටිනවා. එම නඩුවලට දූෂණවලට වරදකරු යැයි ප්‍රකාශ වීමෙන් නියම වුණු අවුරුදු 10, 14 සහ 17ක සිරදඬුවම් ඇතුළත්ව තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com      

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...