බර්ල්-එවන්ස් වාර්තාව නැමීබියාව පැය කිහිපයකින් මකා දැමුවත් අවසන් පන්දු 5 දී තරගය සිම්බාබ්වේ දෙසට පෙරළෙයි.
සිම්බාබ්වේ හා නැමීබියාව ජාත්‍යන්තර විස්සයි20 ක්‍රීඩාවේ කැපී පෙනෙන තරගයක් ක්‍රීඩා කර තිබෙනවා.
අඟහරුවාදා පැවති මේ T20 ඉතිහාසයේ එක් විශිෂ්ටතම තරගයකදී කණ්ඩායම් දෙක ම ඔවුනොවුන්ගේ ඉනිමවල් කඩා වැටීමෙන් පසුව නැවත තරගයේ ඉදිරියට පැමිණීමට සමත් වූ අතර දෙපිල ම හත් වැනි කඩුල්ල වෙනුවෙන් තිබූ වැඩිම සබඳතාවේ ලෝක වාර්තාව බිඳ දැමුවා. ඉතාමත් තියුණු තරගයක් අවසානයේදී සිම්බාබ්වේ ජයග්‍රාහකයින් වුනේ අන්තිම ඕවරයේ.
පළමුව පන්දුවට පහර දීම පිණිස කැඳවීමෙන් පසුව සිම්බාබ්වේ හොඳ ආරම්භයක් ලබා ගත්තේ ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් ‘පවර් ප්ලේ’ අදියරේදී ලකුණු 64ක් රැස් කරමින්. එහෙත් 12 වැනි ඔ්වරයේ මුළු ලකුණු 101ක් පමණක් ලබා සිටියදී හය වැනි කඩුල්ල බිඳ වැටීමට පෙර ඔවුන්ගේ ඉනිම 64-0 සිට 79-5 දක්වා කඩා වැටුනා.
බර්ල් සහ එවන්ස්ගෙන් පෙරළිකාර සබඳතාවක්

රයන් බර්ල් හා බ්‍රැඩ් එවන්ස් ඉන්පසුව එක්ව ලකුණු 94ක් රැස් කරමින්, වැඩි වේලාවක් නොපැවති, වැඩිම හත් වැනි කඩුලු සබඳතාව සටහන් කළේ සිම්බාබ්වේ කණ්ඩායම මුළු ලකුණු 195ක් දක්වා ඉදිරියට තල්ලු කරමින්. බර්ල් හතරේ පහර හතක් සහ හයේ පහරක් සමග පන්දු 32කින් ලකුණු 57ක් ලබා ගෙන නොදැවී සිටි අතර එවන්ස් පන්දු 25කින් නොදැවී ලකුණු 37ක් රැස් කළා.
පැය කිහිපයකින් වාර්තාව මකා දැමූ නැමීබියානු පිතිකරුවෝ

ඊට ප්‍රතිචාර වශයෙන් නැමීබියාව ට ‘පවර් ප්ලේ’ ඕවරවලදී කඩුලු දෙකක් අහිමි වූවත් ඉලක්කය හඹා යාමට හැකිවන පරිදි ඕවර නවයක් අවසන් වන විට කඩලු දෙකක් අහිමි කරගෙන ලකුණු 60ක් ලබා ගෙන සිටියා. නමුත් ඔවුන් පන්දු 13ක් ඇතුළත මුළු ලකුණු 60-2 සිට 76-6 දක්වා පහළට වැටුනු අතර සේන් ග්‍රීන් හා ඇලෙක්සැන්ඩර් වොල්ස්කෙන්ක් ඔවුන්ට විස්මිත ලෙස නැවත තරගයට අවතීර්ණ වීමට උපකාර කළා. මේ දෙදෙන ඊට පැය කිහිපයකට පෙර බර්ල්-එවන්ස් විසින් පිහිටුවා තිබූ ලෝක වාර්තාව මකා දැමුවේ හත් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110ක් එක් කරමින්.
මේ ක්‍රීඩකයින් දෙදෙනා ම ඔවුනොවුන්ගේ අර්ධ ශතක ලබා ගත් නමුත් ඔවුන්ගේ එම විශිෂ්ට උත්සාහය අපතේ ගියා. නැමීබියාව ලකුණු 16ක් අවශ්‍යව සිටිමින් ඔවුන්ගේ අවසන් ඕවරය ආරම්භ කළ ද, අවසාන පන්දු පහෙන් කඩුලු හතරක් අහිමි කර ගත්තේ ජයග්‍රාහී ඉලක්කයට ලකුණු පහක් අඩුවෙන් සිටිමින්.
අවසන් ඕවරයේ නාටකීය පෙරළිය සහ එවන්ස්ගේ තුන්ඉරියව් දස්කම්
සිම්බාබ්වේ වෙනුවෙන් සිය නොදැවුනු ලකුණු 37 ට අමතරව කඩුලු 3ක් ද ලබා ගනිමින් එවන්ස් තරගයේ වීරයා වුණා. ඔහුට අමතරව, බ්‍රයන් බෙනට් ද ජයග්‍රහණය වෙනුවෙන් ඔහුගේ කාර්යයේ යෙදී ඉනිම ආරම්භ කරමින් ලකුණු 32ක් රැස් කර ඉන්පසුව ඔහු යැවූ එකම ඕවරයේදී කඩුලු දෙකක් ලබා ගත්තා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




