කෙටි කාලීන භාණ්ඩාගාර බිල්පත් වෙනුවට දිගු කාලීන බැඳුම්කර වෙත යොමුවීමේ මූල්‍ය වෙනසක්
2026 වසරේ දෙවැනි කාර්තුව අවසන් වන විට ශ්‍රී ලංකාවේ දළ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 744කින් ඉහළ ගොස් ඇති බව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ (PDMO) නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. කෙසේ වෙතත්, එම කාලය තුළම රටේ විදේශ ණය තොගය ඇමරිකානු ඩොලර් අනුව ගණනය කිරීමේදී ඩොලර් බිලියන 4.32ක අඩුවීමක් වාර්තා වීම ආර්ථික විද්‍යාඥයන්ගේ විශේෂ අවධානයට ලක්ව තිබේ.
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ වාර්තාවන්ට අනුව, 2026 මාර්තු අග වන විට රුපියල් ට්‍රිලියන 32.23ක් ලෙස පැවති සමස්ත රාජ්‍ය ණය, ජූනි මස අවසන් වන විට 2.3%කින් ඉහළ ගොස් රුපියල් ට්‍රිලියන 32.98ක් බවට පත්ව ඇත. එහෙත් ඩොලර් පදනමින් එය 4.2%ක පහත වැටීමක් පෙන්වමින් ඩොලර් බිලියන 102.27 සිට ඩොලර් බිලියන 97.95 දක්වා අඩු වී තිබේ.
විනිමය අනුපාත වෙනස සහ ණය අගය කිරීම
මෙම පරස්පරතාව කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ විදේශ විනිමය අනුපාතවල සිදුවූ උච්චාවචනයන්ය. ජාත්‍යන්තර මුල්‍ය වගකීම් රුපියල් බවට පරිවර්තනය කිරීමේදී කාර්තු අවසාන විනිමය අනුපාතය සැලකිල්ලට ගැනේ. ඒ අනුව, මාර්තු අගදී ඩොලරයක් සඳහා පැවති රුපියල් 315.19ක අගය ජූනි අග වන විට රුපියල් 336.66 දක්වා වෙනස් වීම මෙම සංඛ්‍යාත්මක වෙනසට මූලික හේතුව වී තිබේ.
මීට අමතරව, මධ්‍යම රජයේ ණය බර පමණක් සලකා බැලීමේදී එය පසුගිය කාර්තුව තුළ 2.6%කින් හෙවත් රුපියල් බිලියන 806කින් ඉහළ ගොස් රුපියල් ට්‍රිලියන 32 සීමාවට පැමිණ ඇත. එහි ඩොලර් සමාන අගය ඩොලර් බිලියන 98.97 සිට 95.05 දක්වා අඩුවීමක් වාර්තා කරයි.
දේශීය ණය කළමනාකරණයේ නව උපායමාර්ගය
දේශීය ණය සංයුතියේ පැහැදිලි ව්‍යුහාත්මක ප්‍රතිසංවිධානයක් සිදුව ඇති බව නව දත්ත පෙන්වා දෙයි. සමස්ත දේශීය රජයේ ණය රුපියල් බිලියන 180කින් පහළ ගොස් රුපියල් ට්‍රිලියන 19.20ක් ලෙස සටහන් වේ. මෙහිදී රුපියල්වලින් ඇති බැඳීම් රුපියල් බිලියන 227කින් පහත වැටී ඇති මුත්, විදේශ මුදලින් පවතින දේශීය ණය රුපියල් බිලියන 47කින් ඉහළ ගොස් රුපියල් බිලියන 741ක් දක්වා වැඩි වී තිබේ.
මෙහි වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ, රජය කෙටි කලකින් ගෙවා නිම කළ යුතු භාණ්ඩාගාර බිල්පත් (රු. බිලියන 480කින්) අඩු කර, ඒ වෙනුවට සෙමින් ගෙවිය හැකි දිගු කාලීන භාණ්ඩාගාර බැඳුම්කර (රු. බිලියන 254කින්) ණය වෙත යොමුවීමයි. ඒ අනුව;
| කෙටි කාලීන භාණ්ඩාගාර බිල්පත් (Treasury Bills) ශේෂය රුපියල් බිලියන 480කින් දැවැන්ත ලෙස පහත වැටී රුපියල් ට්‍රිලියන 2.37ක් විය.
| දිගු කාලීන භාණ්ඩාගාර බැඳුම්කර (Treasury Bonds) ශේෂය රුපියල් බිලියන 254කින් ඉහළ ගොස් රුපියල් ට්‍රිලියන 16.07 දක්වා වැඩි විය.
මූල්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ කෙටි කාලීන ණය කල්පිරීමේදී මුහුණ දීමට සිදුවන ක්ෂණික ප්‍රතිමූල්‍යකරණ අවදානම (Refinancing risk) කළමනාකරණය කර ගැනීමට මෙම පියවර ඉවහල් වන නමුත්, එය දිගුකාලීනව අනාගත පොලී පිරිවැය සහ ණය පරිණත ව්‍යුහය කෙරෙහි සෘජුව බලපාන බවයි.
විදේශ ණය සංයුතිය සහ බහුපාර්ශ්වීය මූල්‍ය සහාය
විදේශ ණය ක්ෂේත්‍රයේ ප්‍රසාරණයක් දෙවැනි කාර්තුවේදී දැකගත හැකි විය. රජයේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 540කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 38.01ක් ලෙස සටහන් වූ අතර, රුපියල් පදනමින් එය රුපියල් බිලියන 986ක වර්ධනයක් සමඟ රුපියල් ට්‍රිලියන 12.80ක් දක්වා ඉහළ ගොස් තිබේ.
විදේශ ණය සංයුතියේ ප්‍රධාන අංශ කිහිපයක් මෙසේය
බහුපාර්ශ්වීය ණය (Multilateral Debt):
ඩොලර් මිලියන 620කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 14.80ක් විය. මෙහි ප්‍රධාන වර්ධනය වාර්තා වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙතින් වන අතර, එම ණය ප්‍රමාණය ඩොලර් මිලියන 686.6කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 2.62ක් දක්වා පැමිණ ඇත.
ද්විපාර්ශ්වීය ණය (Bilateral Debt):
ඩොලර් මිලියන 312කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 10.80ක් විය. දකුණු කොරියාව සහ කුවේට් රාජ්‍යයෙන් ලබාගත් ණය කැපී පෙනෙන ලෙස ඉහළ ගිය අතර චීනයට ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5.01 දක්වා මඳ වශයෙන් වැඩි විය.
වාණිජ ණය (Commercial External Debt):
වාණිජ ණය ඩොලර් මිලියන 392කින් සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISBs) වගකීම් ඩොලර් මිලියන 374.5කින් පහත වැටීමක් පෙන්නුම් කරයි.
ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඉදිරි දැක්ම
ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතාවන්ට එළඹුණු පාර්ශ්ව සමඟ ශ්‍රී ලංකාව නැවත නිල වශයෙන් ණය සේවාකරණ ගෙවීම් ආරම්භ කර ඇත. ජූනි මස අවසන් වන විටත් රටවල් 13ක ණය හිමියන් සමඟ සාකච්ඡා ක්‍රියාවලිය ක්‍රියාත්මක මට්ටමේ පැවතිණි.
මූල්‍ය විශේෂඥයින් අවධාරණය කරන්නේ හුදෙක් ඩොලර් අගයෙන් ණය ප්‍රමාණය අඩුවීම පමණක් මතුපිටින් සැලකීම ප්‍රමාණවත් නොවන බවයි. ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අවසන් කිරීම, ප්‍රතිමූල්‍යකරණ අවදානම් පාලනය කිරීම සහ දේශීය මුදලින් වැඩිවන ණය පිරිවැය රටේ ආර්ථික ධාරිතාවට දරාගත හැකි මට්ටමක පවත්වා ගැනීම ඉදිරි ආර්ථික ස්ථාවරත්වයට අතිශය තීරණාත්මක වනු ඇත.
මුලාශ්‍රය :
Sri Lanka’s Debt Mountain Swells Despite Dollar-Denominated Decline




