BREAKING
ජනක මහබෙල්ලනගෙන් ගීතයේ සාම්ප්‍රදායික සීමා පනින 'සංගායනා' (වීඩියෝ)●ශ්‍රී ලංකාවේ කසළ අර්බුදය: මීතොටමුල්ලෙන් පසු විසඳුම් කොතැනද?●ජයසිරි අලවත්තගේ 'හිඟන කොල්ලා': සල්ලඩිය සහ Z පරම්පරාව අතර ගැටුම●සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් රජයට දැඩි ප්‍රශ්නාවලියක්● BOC පරිගණක දෝෂය: මිලියන 380 ආපසු අයකරගනී● නීතිවිරෝධී පිරමිඩ ජාවාරම්වලට දැඩි තහංචි: බිලියන ගණනක වත්කම් අත්හිටුවයි● විපක්ෂයේ පොදු සතුරා සජිත්ද - අනුරද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!●flydubai නියමු ප්‍රහාරය: ඕස්ට්‍රේලියානු සම්බන්ධතා ගැන පුළුල් පරීක්ෂණ●කොළඹ විරෝධතාවෙන් පසු ජන අරගල සාමාජිකයෝ හයක් අත්අඩංගුවට●අධිකරණ සතිය: කතාබහට ලක්වූ තීන්දු සහ නියෝග●
Top Ad
විශේෂාංග

ශ්‍රී ලංකාවේ කසළ අර්බුදය: මීතොටමුල්ලෙන් පසු විසඳුම් කොතැනද?

දිනකට අපද්‍රව්‍ය ටොන් නවදහසක් එකතු වන ශ්‍රී ලංකාවේ පාරිසරික අර්බුදය, නීතිමය පසුබිම සහ ප්‍රජා වගකීම විමසන විමර්ශනයක්.

Pasan

Pasan

October 4, 2026 • 5:18 PM

ශ්‍රී ලංකාවේ කසළ අර්බුදය: මීතොටමුල්ලෙන් පසු විසඳුම් කොතැනද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කඩදාසි, ප්ලාස්ටික්, ආහාර සුන්බුන් සහ වෙනත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රධාන පාරිසරික, මහජන සෞඛ්‍ය සහ සමාජීය ගැටලුවකි. මෙම ප්‍රශ්නය හුදෙක් ජනනය වන අපද්‍රව්‍ය ප්‍ර...
  • ශ්‍රී ලංකාවේ ජාතික පාරිසරික ක්‍රියාකාරී සැලැස්ම (2022–2030) ඇස්තමේන්තු කරන්නේ දිනකට නාගරික ඝන අපද්‍රව්‍ය ටොන් 8,000–9,000ක් පමණ ජනනය වන බවයි.
  • එහිදී ග්‍රාමීය ප්‍රදේශවලට වඩා නාගරික ප්‍රදේශවල එක් අයෙකු විසින් ජනනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගනී.
  • අපද්‍රව්‍ය නිසි ලෙස වෙන් නොකිරීම බරපතළ කරුණකි.
අකුරු ප්‍රමාණය (Font Size):

කඩදාසි, ප්ලාස්ටික්, ආහාර සුන්බුන් සහ වෙනත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රධාන පාරිසරික, මහජන සෞඛ්‍ය සහ සමාජීය ගැටලුවකි. මෙම ප්‍රශ්නය හුදෙක් ජනනය වන අපද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ පමණක් නොව; එකතු කිරීම, වෙන් කිරීම, ප්‍රතිචක්‍රීකරණය, ප්‍රවාහනය, බැහැර කිරීම, මහජන හැසිරීම සහ සුදුසු අපද්‍රව්‍ය සංස්කරණ පහසුකම් නොමැතිකම වැනි කරුණු රැසක් හා බැඳී පවතී.

ශ්‍රී ලංකාව දිනපතා විශාල නාගරික ඝන අපද්‍රව්‍ය ප්‍රමාණයක් ජනනය කරයි. ජාතික අපද්‍රව්‍ය දත්ත සම්පූර්ණයෙන්ම සපයා නොමැති බැවින් රජයේ සහ සංවර්ධන නියෝජිතායතනවල ඇස්තමේන්තු වෙනස් වේ. ශ්‍රී ලංකාවේ ජාතික පාරිසරික ක්‍රියාකාරී සැලැස්ම (2022–2030) ඇස්තමේන්තු කරන්නේ දිනකට නාගරික ඝන අපද්‍රව්‍ය ටොන් 8,000–9,000ක් පමණ ජනනය වන බවයි. එහිදී ග්‍රාමීය ප්‍රදේශවලට වඩා නාගරික ප්‍රදේශවල එක් අයෙකු විසින් ජනනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගනී.

2024 දී ප්‍රකාශයට පත් කරන ලද ආසියානු සංවර්ධන බැංකු (ADB) සහ ගෝලීය පාරිසරික උපායමාර්ග ආයතන (IGES) වාර්තාවක දැක්වෙන්නේ නගර සහ දිස්ත්‍රික් මධ්‍යස්ථානවලින් 37%කට පමණක් නිල නාගරික ඝන අපද්‍රව්‍ය එකතු කිරීමේ සේවාවල ප්‍රතිලාභ ලැබෙන අතර, එළිමහනේ කුණු දැමීම ප්‍රධාන බැහැර කිරීමේ ක්‍රමවේදයක් ලෙස තවදුරටත් පවතින බවයි.

 

Transforming Urban Hygiene: How Solid Waste Management is Evolving in Sri  Lanka - Cleantech


කැළි කසළ ගැටලුව උග්‍ර වීමට තුඩුදෙන හේතු

ජනගහනය සහ නාගරීකරණය ඉහළ යාම මෙයට ප්‍රධාන කරුණකි. මෙම අධික ජනගහනය හේතුකොට ගෙන නිවාස සහ වාණිජමය අපද්‍රව්‍ය ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වේ. තවද ජීවන රටාවේ සහ පාරිභෝගික රටාවල සිදුවන වෙනස්කම් ද අපද්‍රව්‍ය ජනනය ඉහළ යාමට හේතු වේ.

අපද්‍රව්‍ය නිසි ලෙස වෙන් නොකිරීම බරපතළ කරුණකි. ගෘහස්ථ අපද්‍රව්‍යවල ආහාර අපද්‍රව්‍ය, ප්ලාස්ටික්, කඩදාසි, වීදුරු සහ වෙනත් ද්‍රව්‍ය එකට මිශ්‍ර වී ඇති විට ප්‍රතිචක්‍රීකරණය සහ කොම්පෝස්ට් සෑදීම වඩාත් දුෂ්කර මෙන්ම වියදම් අධික කාර්යයක් බවට පත්වේ.

බොහෝවිට අපද්‍රව්‍ය එකතු කිරීමේ සේවාවන් ප්‍රමාණවත් නොවීම ද ගැටලුවකි. සමහර ප්‍රජාවන්ට නිතිපතා අපද්‍රව්‍ය එකතු කිරීමේ සේවාවන් නොලැබේ. එකතු නොකළ කුණු මාර්ග දෙපස, හිස් ඉඩම්, ජල මාර්ග සහ වෙනත් පොදු ස්ථානවල ගොඩගැසීමට පුළුවන. එළිමහනේ කුණු දැමීම ප්‍රධාන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුවක් ලෙස පවතින අතර, එළිමහනේ පුළුස්සා දැමීමෙන් හානිකර වායු දූෂක නිපදවීමටත්, පාලනයකින් තොරව කුණු දැමීමෙන් පස සහ ජලය දූෂණය වීමටත් මඟ පෑදේ.

ප්ලාස්ටික් බෑග්, බෝතල්, ආහාර ඇසුරුම් සහ වෙනත් ප්ලාස්ටික් නිෂ්පාදන දිරාපත් වීමට වසර සිය ගණනක් ගතවන බැවින් ඒවා විශේෂයෙන් ගැටලුකාරී වේ. කානු පද්ධති සහ ජල මාර්ගවලට එකතු වන අපද්‍රව්‍ය ගංවතුර සහ සාගර දූෂණයට ද හේතු වේ. මේ වන විටත් පරිසර පද්ධතියට බරපතළ හානි එල්ල කිරීමට මෙම ප්ලාස්ටික් භාවිතය සහ නිසි පරිදි බැහැර නොකිරීම හේතු වී ඇත.


පාරිසරික විනාශය සහ බිඳවැටෙන මහජන සෞඛ්‍යය

අවිධිමත් කුණු කළමනාකරණය හේතුවෙන් අපද්‍රව්‍ය සහ දූෂිත දියර ගංගා, ඇළ මාර්ග සහ භූගත ජලයට එකතු වීමෙන් ජල දූෂණය සිදුවේ. පාලනයකින් තොරව බැහැර කිරීම මගින් පස් දූෂණය ඇති වේ. කසළ පුළුස්සා දැමීම වායු දූෂණයට හේතුවන අතර, ප්ලාස්ටික් මගින් කානු සහ ජල මාර්ග සිරවීමෙන් නාගරික ගංවතුර තත්ත්ව හටගනී.

මෙම අපද්‍රව්‍ය ගංගා සහ වෙරළබඩ ප්‍රදේශවලට ළඟා වීමෙන් සිදුවන සාගර දූෂණය සුවිසල් තර්ජනයක් වන අතර, දුර්ගන්ධය සහ අප්‍රසන්න පරිසරය හේතුවෙන් සංචාරක කර්මාන්තයට ද දැඩි බලපෑම් එල්ල වේ. අවිධිමත් ලෙස අපද්‍රව්‍ය එකතු කිරීම සහ බැහැර කිරීම ආර්ථික පිරිවැය ඉහළ නැංවීමට හේතු වන බව ලෝක බැංකුව ද පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ කසළ ගැටලුවේ බරපතළකම මුළු රටටම පෙන්වා දුන් ඛේදනීය සිදුවීමක් ලෙස 2017 අප්‍රේල් 14 වැනිදා සිදුවූ මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම හඳුන්වා දිය හැකිය. කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි කසළ කන්ද කඩා වැටී අවට නිවාස හා දේපළ යට කරමින් විශාල විනාශයක් සිදු විය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්තාවට අනුව, එදින පස්වරු 2.45ට පමණ සිදුවූ මෙම ආපදාවෙන් නිවාස 60ක් සම්පූර්ණයෙන් විනාශ වී, තවත් නිවාස 27කට හානි සිදුවූ අතර පුද්ගලයන් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. දිනකට කසළ ටොන් 800–900ක් පමණ බැහැර කර තිබූ මෙම ස්ථානයේ උස කඩා වැටීමට පෙර මීටර් 45–50ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

දිගු කාලයක් තිස්සේ ගොඩගැසී ඇති කසළ මැස්සන්, මදුරුවන් සහ මීයන් වැනි රෝග වාහකයන් බෝවීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරන බැවින් ඩෙංගු, මී උණ සහ ආහාර හා ජලය ආශ්‍රිත බෝවන රෝග අවදානම ඉහළ නංවයි. එසේම කසළ පුළුස්සා දැමීමෙන් නිකුත් වන දුමාරය ආශ්වාස කිරීම නිසා ළමුන් සහ වැඩිහිටියන් අතර ශ්වසන ආබාධ උත්සන්න වේ. ඒ අනුව කසළ ගැටලුව යනු හුදෙක් සෞන්දර්යාත්මක ප්‍රශ්නයක් නොව, සෘජු මහජන සෞඛ්‍ය අර්බුදයකි.

Urban environmental solid waste challenges in the Nallur Area - TimesOnline


නීතිමය රාමුව සහ ක්‍රියාත්මක කිරීමේ හිඩැස්

කසළ කළමනාකරණය සඳහා ප්‍රධාන වශයෙන් වගකියන ආයතන වන්නේ පළාත් පාලන ආයතන (මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා) සහ මධ්‍යම පරිසර අධිකාරියයි (CEA). මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ආඥාපනත යටතේ බලප්‍රදේශයේ කසළ එකතු කිරීම, ප්‍රවාහනය සහ බැහැර කිරීම පිළිබඳ සෘජු වගකීම පළාත් පාලන ආයතන සතු වේ. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත යටතේ ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම, පාරිසරික ආරක්ෂණ බලපත්‍ර (EPL) නිකුත් කිරීම සහ අපද්‍රව්‍ය නියාමනය සිදු කෙරේ.

පොදු ස්ථානවල, මාර්ග දෙපස හෝ ජල මාර්ගවලට කුණු දැමීම දණ්ඩ නීති සංග්‍රහය (මහජන පීඩා - Public Nuisance), ජාතික පාරිසරික පනත සහ පළාත් පාලන අනුනීති යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. බස්නාහිර පළාත ඇතුළු ප්‍රධාන නාගරික ප්‍රදේශවල නිවාස සහ ව්‍යාපාරික ස්ථාන මගින් කසළ දිරන අපද්‍රව්‍ය, ප්ලාස්ටික්, කඩදාසි සහ වීදුරු ලෙස වෙන් කර භාරදීම අනිවාර්ය කර ඇති අතර, වෙන් නොකළ කුණු භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමට පළාත් පාලන ආයතනවලට බලතල ඇත. එමෙන්ම ගැසට් නිවේදන මගින් නිශ්චිත මයික්‍රෝන ප්‍රමාණයට අඩු පොලිතින් සහ තනි භාවිත ප්ලාස්ටික් භාවිතය තහනම් කර තිබේ.

කෙසේ වෙතත්, නීතිමය ප්‍රතිපාදන පැවතුණද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී ගැටලු රැසක් පවතී. සෑම ප්‍රදේශයකම නීතිය සමානව ක්‍රියාත්මක නොවීම, පරීක්ෂා කිරීම සඳහා නිලධාරීන් හිඟවීම සහ පළාත් පාලන ආයතන සතු ප්‍රවාහන රථ, සේවක, මූල්‍ය හා තාක්ෂණික පහසුකම් ප්‍රමාණවත් නොවීම මීට හේතුවයි. නීතිය කුමක් වුවත් ජනතාව පොදු ස්ථානවල කසළ දැමීම හෝ ගිනි තැබීම නොනවත්වා සිදු කරන්නේ නම් නීති පද්ධතියේ සැබෑ අරමුණ ඉටු නොවේ.


ප්‍රජා දායකත්වය සහ තිරසර විසඳුම්

කසළ ගැටලුව විසඳීමේදී රාජ්‍ය ආයතනවල වගකීම මෙන්ම ප්‍රජාවේ දායකත්වය ද අත්‍‍යාවශ්‍ය වේ. කසළ නිවසේදීම වෙන් කිරීම, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය පුරුද්දක් කර ගැනීම සෑම පුරවැසියෙකුගේම වගකීමකි. “කසළ ගැටලුව වෙනත් කෙනෙකුගේ වගකීමක්” යන ආකල්පය වෙනුවට “මගේ කසළ, මගේ වගකීම” යන ආකල්පය සමාජගත කළ යුතුය.

ස්ථිර විසඳුමක් සඳහා නීති සම්පාදනයට අමතරව පළාත් පාලන ආයතන වෙත අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන, රථ වාහන සහ තාක්ෂණික පහසුකම් ලබාදිය යුතුය. වෙන් කළ කසළ වෙන වෙනම එකතු කිරීම සඳහා නියමිත කාලසටහන් නාගරික මෙන්ම ග්‍රාමීය මට්ටමින් අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය වේ. නීති විරෝධී ලෙස කසළ බැහැර කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද නොනවත්වා ක්‍රියාත්මක විය යුතුය.

කසළ යනු හුදෙක් ඉවත් කර දැමිය යුතු දෙයක් පමණක් නොව, නිසි සැලසුමකින් හා වගකීමකින් කළමනාකරණය කළ යුතු සම්පතක් සහ පාරිසරික වගකීමක් බව මීතොටමුල්ල ඛේදවාචකය මීට වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකාවට ලබාදුන් පැහැදිලි පාඩමයි.

(සටහන | රවීෂා සිංහ ආරච්චි )
නිදහස් මධ්‍යවේදීනි
raveeshaamanethmi8@gmail.com


වැඩිදුර කියවීම සඳහා මූලාශ්‍ර:

මධ්‍යම පරිසර අධිකාරිය (CEA) - අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ

ආසියානු සංවර්ධන බැංකුව (ADB) - ශ්‍රී ලංකාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වාර්තාව

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...