1200 x 80 DMirror

 
 

‘‘අනේ කමක් නෑ... එතකොට මගේ ෆෝන් බිලත් ඉතුරුයි නෙ...’’ යැයි පැවසු ප්‍රතිෂ්ඨ සිය කලිසමේ පිටුපස සාක්කුවෙන් ගත් මුදල් පසුම්බියේ තිබූ ඔහුගේ

තොරතුරු ඇතුළත් කුඩා කාඩ්පතක් සචේතනී අත තැබී ය.

එය අතට ගෙන මොහොතක් එදෙස බලා සිටි සචේතනී ‘‘ෂා... මරු නෙ... මං දැනගෙන හිටියෙ නෑ නෙ මේ වගක්...’’ යැයි පවසා වහා නැගිට ඇගේ දෑතින් ම ප්‍රතිෂ්ඨගේ දකුණත අල්ලාගත්තා ය.

එසැණින් මඳක් වික්ෂිප්තභාවයට පත්වූ ප්‍රතිෂ්ඨ මන්දස්මිතයකින් මුව සරසා ගත්වන ම ‘‘ඒ කිව්වෙ... මට තේරුන්නෑ...?’’ යැයි විමසී ය.

‘‘නෑ... මං කිව්වෙ මේ... ඔයා ලේඛකයෙක් කියල මං දැනගෙන හිටියෙ නැහැ නෙ... ඒකයි...’’

ප්‍රතිෂ්ඨ එතෙක් මුව සරසාගෙන සිටි මන්දස්මිතය තවත් යම් ප්‍රමාණයකට වර්ධනය කරන අතර ම ‘‘ඇත්තට ම මං කැමති නෑ ඔය නමට ඉස්සරහින් එක එක කෑලි එල්ලන්න. ඒත්...’’

‘‘ඔයාට කවුරු හරි බල කරා එහෙම කැල්ලක් දාන්න කියල... එහෙම නෙ...?’’

 

thumb 1920 40778

ප්‍රතිෂ්ඨ අදහස් කළ දෑ පවසා අවසන් වන්නටත් ප්‍රථම සචේතනී අනුමාන කළ අදහසක් කඩිනමින් ම මුදාහැරියේ යළි අසුන්ගන්නා අතර ම ය.

‘‘ඔවු... ඇත්තට ම ඔවු...’’

ප්‍රතිෂ්ඨ ලජ්ජා සහගත හැඟීමකින් යුක්තව පැවසී ය.

‘‘කවුද... වයිෆ් ද කිව්වෙ...?’’

සචේතනී විමසුවේ ඇගේ දෙනෙත් ඍජුවම ප්‍රතිෂ්ඨ දෙස එල්ල නොකරමිනි. සාහිත්‍යමය ලෙසින් සඳහන් කරන්නේ නම් එය යටැසින් හෙළූ බැල්මකි.

‘‘අනේ නෑ... මේක ප්‍රින්ට් කරල දුන්නෙ මගේ මිත්‍රයෙක්. එයා තමයි කිව්වෙ නිකංම නිකං නම නොදා මොකක් හරි ටයිටල් එකක් දාමු කියල. මමත් ඉතිං හා කිව්ව. එච්චරයි.’’

‘‘ඒ කියන්නෙ ඔයා පොත් ලියල තියෙනව... එහෙම ද...?’’

සචේතනී විමසුවේ කිසියම් බලාපොරොත්තු සහගත බැල්මක් හෙළන අතර ය.

‘‘ආ... ඔවු ඔවු... පොත් කිපයක් නං ලියල තියෙනව...’’

‘‘අනේ... මොකද්ද අනේ... ඔයා ඒ ගැන මට චුට්ටක්කත් කිව්වෙ නෑ නෙ... ඒක තමයි මේ හැම තැනම ඉන්න කෙල්ලො මෙයා පස්සෙ එන්නෙ... යැයි පැවසු ඇය එතෙක් අල්ලාගෙන සිටි ප්‍රතිෂ්ඨගේ අත තව තවත් ඇගේ දෑතේ ග්‍රහණයට නතු කරගන්නා අතර ම ‘‘මොනවද ඔයා ලියල තියෙන පොත්...?’’ යැයි විමසුවා ය.

listen1

‘‘පොත් නං හත අටක් ලියල තියෙනව.’’

ප්‍රතිෂ්ඨ ඉතා සැහැල්ලු ස්වරයෙන් පැවසී ය.

‘‘ෂා... මාරයි නෙ...! නියමයි නියමයි...!! කියන්නකො... මොනවද ඔයා ලියපු පොත්...’’

‘‘හම්ම්ම්... මං කියන්න ද... ඔයා ගෙදර ගිහිං නෙට් එකේ චෙක්ක කරල බලන්නකො... ආ... ඒහෙම නැත්නං මගේ FB එක චෙක් කරන්නකො... ඒකෙ විස්තර ඔක්කොම ඇති.’’

ප්‍රතිෂ්ඨ එසේ පැවසුවේ ඊට වඩා වැඩි යමක් පැවසුවේ නම් සචේතනී දිගින් දිගට ම තමාගෙන් ප්‍රශ්න අසන බව අවබෝධ කරගත් බැවිනි.

ප්‍රතිෂ්ඨ එසේ පැවසූ සැණින් ක්ෂණිකව ම සචේතනීගේ දෑතේ ග්‍රහණයට හසුව තිබූ ඔහුගේ අත ඉන් මිදිණ. එය සිදුවූයේ සචේතනී ද නොදැනුවත්ව මෙනි. එසැණින් ම සචේතනීගේ උවනතෙහි වැහිබර වලාකුළක සිතුවමක් ඇඳිණ.

‘‘ප්‍රතිෂ්ඨ... ඔයා ඔය නොකිය කියන්නෙ දැන් මට යන්න කියල ද... මං තව දුරටත් ඔයත් එක්ක ඉන්න එක ඔයාට කරදරයක් කියල ද...?’’

සචේතනී විමසුවේ කිසිදු පැකිළීමකින් තොරව ය. ඒ සමග ම ඇය සිය අත්බෑගයේ පටි දෙක අතරින් වමත රිංගවා එය උරිස මත රඳවාගත්තා ය. එසැණින් ම ස්වයංක්‍රීයව මෙන් ක්‍රියාත්මක වූ ප්‍රතිෂ්ඨගේ වමත ඇගේ දකුණත අල්ලාගත්තේ ය.

‘‘ඔය ඉතිං... ඔයා හරියට පොඩි ළමයෙක් වගේ නෙ... මං දැං එහෙම එකක් කිව්ව ද... අනිත්තෙක ඇත්තට ම දැං ඔයාට මාත්තෙක්ක හිටිය කියල ඇති වැඩකුත් නෑ නෙ... ඔයාගෙ වැඩේ ගැන දැනට කෙරෙන්න ඕන දේ කෙරිල ඉවරයි. මං ඒ ඉතිරි වැඩටික සැලසුම් කරන්න ඕනෙ ගෙදර ගිහිං.  ඒත්... ඔයා කැමති නං ඇවිත් මාත්තෙක්ක ඉන්න. ඒකෙ අවුලක් නෑ.’’

Cadell, Francis Campbell Boileau; The Black Hat; City of Edinburgh Council; http://www.artuk.org/artworks/the-black-hat-93132මුවෙන් ‘හම්ම්ම්’ ශබ්දයක් නිකුත් නොකළ සචේතනී ඇගේ වම් අත්ල ප්‍රතිෂ්ඨගේ දකුණතේ පිටි අත්ල මත තබා ප්‍රතිෂ්ඨගේ උවන දෙස නෙත් අයා සිටියේ පිළිරුවක් මෙනි. ප්‍රතිෂ්ඨ ද වදනකුදු නොදොඩා ඍජුව ම ඇගේ උවන දෙස නෙත් අයාගත්තේ ය; දැන් දෙදෙනා ම දෙදෙනා වෙත අනිමිස ලෝචනයේ ය. තත්ත්පර කිහිපයක් ඔවුන් පසු කර ගමන් කළ පසු ඇය පළමුව අනිමිස ලෝචනයෙන් මිදුණා ය.

‘‘හරි... මට තේරෙනව... ඔයාට ඔයාගෙ වැඩක් කරගන්නත් ඕන නෙ... නේද... එහෙනං මං යන්නං...’’ යැයි පැවසුවේ ප්‍රතිෂ්ඨගේ ඇසුරෙන් මිදී යාම පහසුවෙන් කළ හැකි කටයුත්තක් නොවන බව පසක් කරමිනි.

‘‘නෑ සචේති... ඔයා කැමති නං හවස් වෙනකං මගෙත් එක්ක ඉන්න. හැබැයි ඒක ඔයාට බෝරිං වෙන්නැහැ කියල හිතෙනව නං විතරක්...’’

‘‘නෑ නෑ ප්‍රතිෂ්ඨ... මං දන්නව නෙ ඔයා කරන වැඩේ බරපතළකම. ඒ නිසා මං පුතාට කෝල් එකක් දීල බස්සෙකේ යන්නං. අවුලක් නෑ...’’

කුමක් පවසන්න ද, කෙබඳු ප්‍රතිචාරයක් දක්වන්න ද යන්න පිළිබඳ නිශ්චය කරගත නොහැකිව අන්ත අසරණ භාවයට පත්ව සිටි ප්‍රතිෂ්ඨගේ හිස ඔහු ද නොදැනුවත්ව ම තමාගේ ම උකුළ දෙසට නැඹුරු විණ. ඒ සමගම පැවසිය නොහැකි, වටහාගත නොහැකි කුමක්දෝ හැඟීමකින් හදවත පිරී ගියේ ය. එය ඔහු මෙතෙක් සචේතනී ඉදිරියේ කළ රංගනය පරදා ඉදිරියට පැමිණි අවංක හැඟීමකි; සරලව ම පවසන්නේ නම් කාමාතුර නොව ප්‍රේමාතුර හැඟිමකි. එහෙත් ඔහු සිය ඉලක්කය වෙත ගමන් කරන්නට නම් එබඳු හැඟීම් සඳහා හදවතෙහි ඉඩ වෙන් නොකළ යුතු ය. යථා තත්ත්වය එසේ වුව ද ගොදුර ඩැහැගන්නා තුරු නිසොල්මනේ ම එය වෙත ආසන්න විය යුතු ය.

‘‘ප්‍රතිෂ්ඨ...!’’

සචේතනිගේ වදන ප්‍රතිෂ්ඨගේ සවනතට ඇතුළු වූ සැණින් මෙතෙක් වෙනතක යොමු කරගෙන සිටි ඔහුගේ සිතුවිලි අවදි විය.

‘ෂිහ්... මං නිකං අවුල් උණ වගේ මෙයාට දැනුණ ද... කොහොමද මං ඒක දැනගන්නෙ...? මට මෙයාගෙ මූණ බලන්නත් බැහැයි බැහැයි වගේ දැනෙන්නෙ මොකද...? බැ බෑ... එහෙම උනොත්...’ යන සිතුවිල්ල එලෙසම සිත තුළ සඟවාගත් ප්‍රතිෂ්ඨ යාන්තමට හිස ඔසවා ‘‘ඔවු සචේති... කියන්න,’’ යැයි පැවසුවේ වරදකාරී ස්වභාවයකිනි.

‘‘ඇයි මොකක් හරි අවුලක් ද...?’’

සචේති විමසුවේ ප්‍රතිෂ්ඨගේ වෙනස යම් තරමකට හෝ අවබෝධ කරගත් බවට ඉඟි සපයමිනි.

‘‘නෑ මේ... මගේ අතින් හිත රිදෙන මොනව හරි කියවුණා නං...’’

ඔහුට සිය අදහස ප්‍රකාශ කර අවසන් කරන්නට ඉඩ නොලැබිණ.

‘‘නෑ නෑ... මට තේරෙනව. ඔයාට මට යන්න කියන්නත් බෑ. ඔයා කරන වැඩේට මාව හවුල් කරගන්නත් බෑ. එහෙමයි කියල දවස ම පාඩු කරගන්නත් බෑ. එහෙම නේද...’’

 

ප්‍රතිෂ්ඨ එතෙක් සිටි ඉරියව්ව වෙනස් කර, හිස ඔසවා, ඔහුගේ දෙනෙත් ඍජුව ම සචේතනීගේ දෙනෙත් වෙතට එල්ල කළේ ය; ඇය ද බිඳුවක් හෝ පසු නොබා ඇගේ දෙනෙත් ප්‍රතිෂ්ඨගේ දෙනෙත් වෙත එල්ල කළේ ය. දෙදෙනාගේ දෙනෙත් තුළින් විහිදෙන නම් කළ නොහැකි වර්ගයේ කිරණ ධාරාවෝ අතරමග දී එකිනෙකට සම්මුඛ වූහ; ඒ ඒ කිරණ ධාරාවෝ එකිනෙකා සමග අදහස් හුවමාරු කරගත්හ.

 

‘‘මං ගැන වැරැදි විදියට හිතන්න එපා... ඔයා දැන් යන්න. ගිහිං දවස් දෙක තුනකිං මට කෝල් කරන්න. ඒ වෙද්දි ඊළඟට කරන්න ඕන මොකක්ද කියල මං ප්ලෑන් කරල තියන්නං. එහෙම හොඳයි නේද...’’

‘‘ඔවු... ඒක ඔයාගෙ තීරණයක්... ඇත්තට ම මං දන්නෙ නැහැ නෙ ඊළඟට මොකද්ද කරන්න ඕන කියල... එහෙනං... මං ඔයාට ඉන් අනිද්ද විතර කෝල් එකක් දෙන්නං’’

දෙදෙනා අතර සංසරණය වූ කිරණ ධාරාවෝ ඒ එකිනෙකාගෙන් විමසූ, එකිනෙකාට පැවසූ දෑ අවබෝධ කරගත්තා සේ දෙදෙනා ම එකවර අසුන් ගෙන සිටි අසුන්වලින් නැගී සිටියහ.

³³³³³

කුරුඳුවත්ත පොලිස් මායිම, රෝයල් කොලීජිය, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, තුන්මුල්ල මං සන්ධිය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය යනාදි ස්ථාන තමා පසු කර වේගයෙන් ඇදි ගිය බව සචේතනීට හැඟුණේ ඇය පැමිණි බස් රථය තිඹිරිගස්යාය මං සන්ධියේ මාර්ග සංඥා ඉදිරියේ තිරිංග තද කළ මොහොතේ ය. ඇය ප්‍රතිෂ්ඨගෙන් සමුගත් ආකාරය, බසයට ගොඩවූ ආකාරය, බසයේ දකුණු පස අසුන්ගත් ආකාරය මෙන් ම ප්‍රවේශපතක් ලබාගත්තා ද නැද්ද යන්න පවා ඇයට අමතක ය. එවිට ම ඇගේ දකුණු අත්ල මිට මෙළවී ඇති බව ඇයට හැඟිණ.

550dc38a1822f0911b20ee16b6d1c820

‘දෙයියනේ...! එහෙනං මං ටිකට් එකත් අරගෙන...!! කවදාවත් නැතුව මට මොකද්ද මේ උණේ...!!! ඇයි... ඇයි මං... මට උදව්වක් කරන්න ඉදිරිපත් වෙච්ච මනුස්සයෙක් ගැන මෙහෙම වද වෙන්නෙ... මොකද්ද ඒ මනුස්සයගෙ තියෙන විශේෂත්වෙ... අනික මේ... මං... මං... මොකට ද ඒ මනුස්සයට මගේ පුද්ගලික විස්තර කියන්න ගියේ... අවුරුදු පහක් දහයක් තිස්සෙ ම හිතට නොදැනුණ වෙනසක් දැන් දැනෙන්නෙ ඇයි...? මට නොදැනුවත්ව ම මනුස්සයගෙ අතින් ඇල්ලුණා... නෑ නෑ... ඒක නොදැනුවත්ව වෙච්ච දෙයක් වෙන්න බෑ... එහෙමනං ඉතිං ඒක වෙන්න ඕන එක පාරයි නෙ... කාලයක් තිස්සෙ අඳුරන මනුස්සයෙක් නං අඩුමගානෙ යාළුකමටවත් කියල හිතන්න පුළුවන්නෙ... ඒත්... බෑ බෑ... ඒක වෙන්න දෙන්න බෑ... එහෙම උනොත් මගේ ටාගට් එක එහෙම්පිටින් ම වතුරෙ... ඒත්... මේ පොතේ ප්‍රශ්නෙ නිරාකරණය කරගන්න නං මට ඒ මනුස්සයගෙ උදව් ගන්න ම වෙනව...’

සිතුවිලි අතර අතරමංව සිටි සචේතනී යළි පියවි සිහියට පැමිණියේ බස් රථය මත්තෙගොඩ නිවාස සංකීර්ණයට ද පැමිණීමෙන් ඉක්බිතිව ය.

³³³³³

‘මට නං මේකි ගැන හිතාගන්නත් බෑ. මට මෙච්චර කාලෙකට හම්බ වෙච්ච ගෑනු අතරෙං මහ පුදුම ගෑනියෙක්; ගුප්ත ගෑනියෙක්. වැඩේය කියන්නෙ ඒකි මට ම සෙට් වෙච්ච එක නෙ... එක වෙලාවකට මට හිතෙනව මං ඒකි ඉස්සරහ බොළඳ උණ වැඩිද කියල... බැඳල මෙච්චර ලොකු දරුවොත් ඉන්න ගෑනියෙක් දවසක් දෙකක් හම්බ වෙච්ච මිනිහෙකුට මෙච්චරට ම කිට්ටුවෙන්නෙ ඇයි...? හැට හතරෙන් කියක් හරි පාවිච්චි කරල ඒකිගෙ වැඩේ කරගන්න ද... ඒත්... එහෙමයි කියල විතරක් හිතන්නත් බෑ... අද උනත් ගියේ හිතකිං නෙවෙයි වගේ. ඒකිට ඕන වෙලා තිබුණෙ මාත් එක්ක ම දවස ගෙවන්න... සමහර විට ඒකි හිතුවද දන්නෙ නෑ ඒකිගෙ වැඩේට අදත් දවස ම ගතවෙයි කියල... ඒත්... වෙන එකියක් නං ට්‍රයි කරන්නෙ වැඩේ ඉවර වෙච්ච ගමං පැනගන්න. මේකි එහෙමත් නෑ. අනික මේ... මගෙත් එක්ක වෙන ගෑනු, කෙල්ලො කතා කරනකොටත් ඒකිට ජෙලස්... ඒකිගෙ වැඩේ විතරක් කරගන්න ඕන නං ඇයි එහෙම ජෙලස් වෙන්නෙ... අනික මෙච්චර ලස්සන එකියක්... කොහොම උනත් දැන් මං ඒකිට බලාපොරොත්තුවක් දීල තියෙනව නෙ... ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ම වෙනව නෙ... ඒ වැඩේ කරල දෙන අතර ම තව ටිකක් මේකිව ස්ටඩි කරන්න වෙනව. නැත්නං මට මං කරන වැඩෙත් පාඩු වෙනව, වෙන වැඩක් කරගන්නත් බැරුව යනව.’

ලේඛනාගාර ආලින්දයේ සිට පළමු මහලේ පිහිටි පර්යේෂණ කාමරයට පැමිණෙන තෙක් ප්‍රතිෂ්ඨගේ සිතුවිලි ද ඉතා වේගයෙන් ඔබ මොබ ගමන් කළේ පරිගණක ක්‍රීඩාවක දී සතුරා ග්‍රහණය කරගන්නට වෙර දරන පුද්ගලයෙකුගේ සිතුවිලි ලෙසිනි. පර්යේෂණ කාමරයට පැමිණිය ද මනස ඒකාග්‍රතාවක තබාගෙන කිසිවක් කළ නොහැකි බව වටහුණ බැවින් ප්‍රතිෂ්ඨ සිය අත්බෑගය ද රැගෙන යළි පහළට පැමිණියේ ය.

ඉවර නෑ...

අරගලය: දින පනහකින් ඉක්බිති...-(ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/07/16 



වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්

වජ්ජා’වජ්ජ 26 : 'ඔවු... අපිට අවම විනය ක්‍රියා පටිපාටියකට යන්න වෙනව' -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා‘වජ්ජ 25 : මං බඳිද්දි මට අවුරුදු විසි එකයි -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 24 - අපි ජීවත් වෙන්නෙ ආසියාතික කලාපෙ නොදියුණු ම රටක - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 23 - ගඩොල් තාප්ප කැඩුවට මිනිස් තාප්පෙකින් අපි හැමෝ ම වට කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 22 : 'දැං වැඩේ හොඳට ම පත්තු වෙලා ඉවරයි'

වජ්ජා’වජ්ජ 21 - ඔයා දන්නව ද ඒ කවුද කියල...? - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා