— ජ්‍යෙෂ්ඨයින් තිදෙනෙක් නොපැමිණ විරෝධය දක්වයි.
අර්බුද මැද බාබර් ප්‍රමුඛ කණ්ඩායම චාල්ස් රජු බැහැදකිද්දී, මිස්බා තේරීම් ප්‍රධාන ධුරය අත්හරී; පුහුණුකරුවන් දෙදෙනෙකුත් එළියට.
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමෙන් මෑතකදී ඉවත් කරන ලද ක්‍රීඩකයින් හත් දෙනාගෙන් තිදෙනෙක් එංගලන්තයේ චාල්ස් රජු සමග තිබූ හමුවට පැමිණ නැහැ. මෙයින් එක් ක්‍රීඩකයෙක් මේ හමුවට සහභාගි වීම ප්‍රතික්ෂේප කර තිබෙන්නේ පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට ඔහුගේ විරුද්ධත්වය ප්‍රකාශ කරමින් බව වාර්තා වනවා.
ආරම්භක පිතිකරු ඉමාම් උල්-හක්, පළපුරුදු කඩුලු රකින ක්‍රීඩක මොහමඩ් රිස්වාන් හා තුන් ඉරියව් ක්‍රීඩකය සල්මන් අලි අඝා මේ හමුවීමට සහභාගි වී නැහැ. මේ තිදෙනා පාකිස්තාන කණ්ඩායමේ සිටින වඩාත්ම පළපුරුදු ක්‍රීඩකයින් වීම විශේෂත්වයක්.
නියෝගයට පිටුපෑ ජ්‍යෙෂ්ඨයෝ
චාල්ස් රජුට හඳුන්වා දෙනු ලැබූ නායක බාබර් අසාම් හා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොසින් නක්විගේ මූලිකත්වයෙන් යුත් පිරිසට පාකිස්තාන කණ්ඩායමෙන් ඉවත් කළ ක්‍රීඩකයින් හත් දෙනාගෙන් සිවු දෙනෙකු වන අමිර් ජමාල්, මොහමඩ් අවයිස් සෆාර්, අලි උස්මාන් හා කුරාම් ෂසාඩ් ඇතුළත්ව සිටියා.
පාකිස්තාන කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ තවත් එක් ටෙස්ට් තරගයක් ඉතිරිව තිබියදී ක්‍රීඩකයින් හත් දෙනෙකු කණ්ඩායමෙන් ඉවත් කිරීම හේතුවෙන් එහි හටගෙන තිබෙන කැලඹිල්ල තවත් උත්සන්න වූයේ ඉවත් කරනු ලැබූ ක්‍රීඩකයින්ට චාල්ස් රජු හමුවන තුරු එංගලන්තයේ රැඳී සිටින ලෙසට බලකිරීම හේතුවෙන්.
ලැජ්ජාව වසාගන්නට දුන් බලහත්කාර නියෝගය
ඉවත් කෙරුණු ක්‍රීඩකයින් වෙනුවට නම් කර තිබෙන ක්‍රීඩකයින් හත් දෙනා පාකිස්තාන කණ්ඩායම සමග එක්වීම පිණිස පැමිණෙමින් සිටියදී මුල් සංචිතයේ ක්‍රීඩකයින්ගෙන් අඩක් පමණ වන කණ්ඩායමක් එංගලන්ත රජු ඉදිරියේ පෙනී සිටීම පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ලජ්ජාවට පමුණුවන සිදුවීමක් වන බැවින් ඉවත් කළ ක්‍රීඩකයින් හත් දෙනා ඇතුළු මුළු පාකිස්තාන සංචිතය ම ක්ලැරන්ස් නිවසේදී එංගලන්තයේ චාල්ස් රජ හමුවිය යුතු බවට නියෝග කර තිබුණා.
සංචාරක කණ්ඩායමක් රජු බැහැ දැකීමට ඒමේ චාරිත්‍රානුකූල කටයුත්තට අමතරව පාකිස්තාන ක්‍රිකට් ක්ෂේත්‍රයේ උද්ගතව තිබෙන අර්බුදය මධ්‍යයේ ලබන සතියේ ඇරඹෙන තෙවැනි ටෙස්ට් ගැටුම සඳහා නරඹන්නන්ගේ දුර්වල පැමිණීමක් සිදුවීමට ඉඩ තිබීම පිළිබඳව සැලකිල්ල යොමු කිරීම මේ හමුව පිටුපස ඇති චේතනාව වී තිබුණා.
අන් සියලු කාර්යයන් අත්හැර මේ හමුවට සහභාගි විය යුතු ම බවට පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් කණ්ඩායමට තරයේ කියා තිබුණා.
බකිංහැම් මාලිගයේ සුහද හමුව සහ ත්‍යාග හුවමාරුව
එංගලන්ත රජු සමග හමුව සුහදව පැවති බව වාර්තා වනවා. චාල්ස් රජ පාකිස්තාන කණ්ඩායම මුණගැසී, එංගලන්ත සංචාරයේ ඇතිවූ අර්බුදකාරී සිදුවීම් එසේ තිබියදීත් ක්‍රීඩකයින්ගේ චිත්ත ධෛර්යය ඉහළ නංවා ඔවුන් උනන්දු කරවන ආකාරයෙන් කතා කර තිබෙනවා. මෙහිදී නායක බාබර් අසාම් අත්සන් කරන ලද පිත්තක් රජු ට තෑගි කළ අතර පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොසින් නක්වි ද ඔහුට ත්‍යාගයක් පිරිනැමුවා.
පුහුණුකරුවන් නෙරපීම සහ මිස්බාගේ හදිසි ඉල්ලා අස්වීම
එංගලන්තය වෙතින් ලැබූ අන්ත පරාජයන් දෙකකට ප්‍රතිචාර දක්වමින් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය ක්‍රීඩකයින් හත් දෙනෙකු කණ්ඩායමෙන් ඉවත් කරමින් ජ්‍යෙෂ්ඨ පුහුණුකරු සාෆරාස් අහම්ඩ් මෙන්ම පන්දු යැවීමේ පුහුණුකරු උමාර් ගුල් ද නෙරපා හැරියේ ක්‍රිකට් ලෝකය අන්දමන්ද කරමින්.
මේ මහා පරිමාණයේ ක්‍රීඩක කප්පාදුව නිසා ක්‍රිකට් තේරීම් ප්‍රධානියා වන හිටපු පාකිස්තාන විශිෂ්ට ක්‍රීඩක මිස්බා උල්-හක් ඉල්ලා අස්වුණා. මේ මහා වෙනස්කිරීම ගැන තමාගෙන් නොඇසීම පිළිබඳව ඔහු විරුද්ධත්වය පළ කළා.
එංගලන්තය සමග ටෙස්ට් තරගමාලාව දැනටමත් පරාජය වී සිටින හෙයින් පාකිස්තානයට එජ්බැස්ටන් හිදී තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට සිදුවන්නේ අභිමානය සඳහා පමණයි.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




