BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රීඩා ගම්මානය වෙනුවට ඉතාලි නැවක්: ජපාන ආසියානු උළෙලේ නවාතැන් අර්බුදයට විසඳුමක්!

T

The Leader Desk

September 16, 2026 • 3:55 PM

ක්‍රීඩා ගම්මානය වෙනුවට ඉතාලි නැවක්: ජපාන ආසියානු උළෙලේ නවාතැන් අර්බුදයට විසඳුමක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නගෝයා ආසියානු ක්‍රීඩා උළෙලේ වියදම් කපාහරිමින් ක්‍රීඩකයන් 4,000කට ඉඳුම් හිටුම් දීමට 'කොස්ටා සෙරෙනා' සුඛෝපභෝගී පාවෙන හෝටලය වරායට සේන්දු වෙයි.
  • කොස්ටා සෙරෙනා නමැති ඉතාලියානු සංචාරක යාත්‍රාව ඔක්තෝබර් 4 වැනිදා දක්වා ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන නගෝයා නගරයේ නැව් තටාකයට ඊයේ (අඟහරුවාදා) සේන්දු වුණා.
  • මීටර් 300ක් පමණ දිග, ටොන් 100,000කට වඩා බර හා කැබින් 1,500ක් තිබෙන මේ නැවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 4,000ක් පමණ නවාතැන් ගනු ඇතැයි පැවසෙනවා.
  • ඉතාලි නැව් තනන්නෙකු වන Fincantieri විසින් 2007 වසරේ ඉදිකරන ලද කොස්ටා සෙරෙනා නෞකාවට ඩෙක් 14ක් තිබෙන අතර පුද්ගලයින් 5,000කට පමණ එහි නවාතැන් ගැනීමේ පහසුකම් තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


පහසුකම් මදි බවට රටවල් රැසකින් පැමිණිලි එද්දී, ටයිෆූන් සුළි සුළං අවදානමද නොතකා ක්‍රීඩක ගම්මානය නැව් තටාකයට රැගෙන ආ ජපාන සැලසුම මෙන්න.

ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනකට නවාතැන් ලබා දෙන සංචාරක නෞකාව දැන් ජපානය ට පැමිණ තිබෙන්නේ එම ක්‍රීඩා උළෙලේ ඉඳුම් හිටුම් සම්බන්ධයෙන් නැගෙන පැමිණිලි වැඩිවෙමින් තිබියදී.

කොස්ටා සෙරෙනා නමැති ඉතාලියානු සංචාරක යාත්‍රාව ඔක්තෝබර් 4 වැනිදා දක්වා ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන නගෝයා නගරයේ නැව් තටාකයට ඊයේ (අඟහරුවාදා) සේන්දු වුණා.

මීටර් 300ක් පමණ දිග, ටොන් 100,000කට වඩා බර හා කැබින් 1,500ක් තිබෙන මේ නැවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 4,000ක් පමණ නවාතැන් ගනු ඇතැයි පැවසෙනවා.

ඉතාලි නැව් තනන්නෙකු වන Fincantieri විසින් 2007 වසරේ ඉදිකරන ලද කොස්ටා සෙරෙනා නෞකාවට ඩෙක් 14ක් තිබෙන අතර පුද්ගලයින් 5,000කට පමණ එහි නවාතැන් ගැනීමේ පහසුකම් තිබෙනවා. බැල්කනි කැබින් 557ක්, ආපන ශාලා 8ක්, අවන් හල් 10ක්, පිහිනුම් තටාක 4ක්, ධාවන පථයක් හා ව්‍යායාම මධ්‍යස්ථානයක් ද එහි තිබෙනවා.

විශේෂයෙන් ජූඩෝ, මල්ලවපොර හා දුනුවිදීම ඇතුළු නගෝයා නගරය වටා තිබෙන ඉසව්වලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හාරදහසත් පන්දහසත් අතර ප්‍රමාණයක් මේ නැවේ ලැගුම් ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.


සංචාරක නැවක් ගේන්නේ ඇයි?

මීට කෙටි පිළිතුර තිබෙන්නේ මුදල් හා සැලසුම් සංවිධානයේයි. සම්ප්‍රදායික ක්‍රීඩක ගම්මානයක් ඉදිකිරීම සඳහා ගොඩනැගිලි හා යටිතලයේ දැවැන්ත මුදල් ආයෝජනයක් අවශ්‍ය වන අතර එයින් දිගු කාලීනව ඇත්තේ අඩු ප්‍රයෝජනයක්.

අනෙක් අතින් බලන විට, කොස්ටා සෙරෙනා පැමිණෙන්නේ දහස් ගණනක කැබින්, ආහාර ගැනීමේ ශාලා සහ විවේකී අවකාශයන් සමගයි. සංවිධායකයින්ට යාත්‍රාව සති තුනකට කුලියට ගෙන නැවත එහි අයිතිකරුවන්ට බාර දීමේ හැකියාව තිබෙනවා. මේ නැව ලබා ගෙන ඇත්තේ ඩොලර් මිලියන 30කට (යෙන් බිලියන 4.5) ආසන්න මුදලකට බව වාර්තා වනවා.

ආසියානු ක්‍රීඩා උළෙලට මෙය අලුත් වූවත් මෙය මීට පෙර සිදු නොවූ දෙයක් නෙවෙයි. සංචාරක නෞකාවන් 2019 වසරේ ඉතාලියේ නේපල්ස් නගරයේ පැවති Universiade ක්‍රීඩා උළෙලේදී තාවකාලික නවාතැන් පොලක් ලෙස තිබූ අතර එහිදී කොස්ටා වික්ටෝරියා හා එම්.එස්.සී. ලිරිකා යන යාත්‍රා දෙක නියෝජිතයින් 4,000කට වැඩි පිරිසකට සත්කාරකත්වය දැක්වුවා. ඒ මෙහෙයුම තදින් සිතෙහි කාවැදුනු ආසියානු ඔලිම්පික් කවුන්සලය ඊට සමාන අවස්ථාවක් අයිෂි-නගෝයා සඳහා යොදා ගෙන තිබෙනවා.

ජපානය ට මේ තක්සේරු කිරීම ඉතාමත් සරල දෙයක් වී තිබුණා. පාවෙන හෝටලයක් වරායට ගෙනෙන්නට පුළුවන්කම තිබියදී තාවකාලික නගරයක් (ක්‍රීඩා ගම්මානයක්) ඉදිකිරීම පිණිස වසර ගණනාවක් වැය කරන්නේ මොකටද?

ටයිෆූන සාධකය
නිවර්තන සුළි සුළං කාලයේ ප්‍රධාන ක්‍රීඩා තරගාවලියක් ජපානයේ පැවැත්වීමෙන් පැහැදිලිවම ඇතිවන්නේ අවුල් සහගත තත්ත්වයක්. දරුණු දේශගුණික ක්‍රමයන් වර්ධනය වීමට ඉඩ තිබෙන වකවානුවක සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනකට යාත්‍රාවක නවාතැන් දීම ස්වභාවයෙන්ම ප්‍රශ්න මතුකර තිබෙනවා. ප්‍රවාහන සම්බන්ධකම් කඩාකප්පල් කර තරග වැඩසටහන වෙනස් කිරීමට බල කරමින්, ආරක්ෂිතව නැංගුරම් ලා සිටිය යුතු නෞකාවකට අභියෝගයන් නිර්මාණය කිරීමට මහා සුළි සුළඟකට හැකියාව තිබෙනවා.

ඒ අවදානම කළමනාකරණය කළ හැකි බවට සංවිධායකයින් පවසනවා. ප්‍රධාන දේශගූණික විපර්යාසයන් සාමාන්‍යයෙන් දින කිහිපයකට පෙර නිරීක්ෂණය කළ හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. එවැනි තත්ත්වයකට මුහුණ දෙන නිශ්චිත සැලසුම් අනාවරණය කර නැතත් ඒ අවදානම ගැනීමට වඩා නවාතැන් සඳහා නැවක් යොදා ගැනීමෙන් අත්වන ප්‍රායෝගික හා මුදල්මය වාසිය වැඩි බව සංවිධායකයින් කියනවා.

ක්‍රීඩක ගම්මානයක් වශයෙන් කොස්ටා සෙරෙනා නෞකාවේ කාර්යය කෙටි එකක්. ඔක්තෝබර් 4 වැනිදා පැවැත්වෙන ආසියානු ක්‍රීඩා සමාප්ත උළෙලෙන් පසුව මේ යාත්‍රාව ජපානය ට සමුදී ආජන්ටිනාව බලා දින 65ක යාත්‍රා කිරීමක නිරත වනවා.

එහෙත් දැනට, නිවාඩු ගතකිරීම වෙනුවෙන් ඉදිකෙරුණු මේ සංචාරක නැව සති තුනක කාලයක් ඊට හාත්පසින් වෙනස් කාර්යයක නිරත වනවා.

හිරු එලිය වැටෙන ඩෙක් එකට වී කොක්ටේල් තොලගාන නිවාඩු ගත කරන්නන් වෙනුවට මේ නෞකාවේ කොරිඩෝවන් හා කැබින් තමන්ගේ ක්‍රීඩා ජීවිතවල එක් ලොකුම තරගාවලියකට සූදානම් වන ලෝක මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් පිරී තිබෙනු ඇති.

ආචි-නගෝයාවට එය අවුරුදු ගණනාවක් පැරණි උභතෝකෝටික ප්‍රශ්නයකට දෙන උපයෝගිතාවේ පිළිතුරක් වනවා. හොල්මන් නගරයක් (බවට පසුව පත්වන ක්‍රීඩක ගම්මානය) ඉදිකරන්නේ නැතිව අමුත්තන් දහස් ගණනකට සත්කාරකත්වය දක්වන්නේ කොහොමද?

පිළිතුර හරිම සරලයි. ක්‍රීඩක ගම්මානය නැව් තටාකයට ගේනවා.

නිල වශයෙන් ලබන සෙනසුරාදා ආරම්භ වන ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 17,000කට වැඩි ප්‍රමාණයක් සහභාගි වන අතර මෙය ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වූ පිරිසට වඩා වැඩි සංඛ්‍යාවක්. පහසුකම් සලසා තිබෙන්නේ කලින් දැනුම් දුන් පරිදි 15,000කට පමණක් බවත් වැඩිවන පිරිස ඔවුන්ගේ ඉඳුම් හිටුම් සපයා ගත යුතු බවත් සංවිධායකයින් මුලදී දැඩිව කියා තිබුණා. පසුව එම ප්‍රකාශය වෙනස් කළ ඔවුන් සෑම කෙනෙකු ට ම නිදා ගැනීමට ඇඳක් ලැබෙනු ඇති බවට සහතික වුණා.

සංචාරක නෞකාවට අමතරව ලී කන්ටේනර ශෛලියේ මඩුවල හා සම්මත හෝටල කාමරවල නවාතැන් ගැනීමට තරගකරුවන්ට සිදුව තිබෙන්නේ සංවිධායකයින් වියදම් අඩු කිරීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින්.

මේ තාවකාලික නවාතැන් සැපයීමේ ක්‍රමවේදය ක්‍රීඩා උළෙලක් දැරිය හැකි මුදලකට පැවැත්වීම සඳහා ආදර්ශයක් වනු ඇතැයි සංවිධායකයින් පවසනවා.
ජපාන ආසියානු ක්‍රීඩා උළෙලේ තිබෙන්නේ ඉතාමත්ම පහත් තත්ත්වයේ පහසුකම් බවට රටවල් ගණනාවක් පැමිණිලි කර තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...