1200 x 80 DMirror

 
 

ලඤ්ජක තිස්ස කුමරු රජ පදවි දරන්නේ ක්‍රි.පූ. 119 - 109 යන දස වස තුළය. ලක් ඉතිහාස කතාවතේ මෙකී දසවස කතා බහට නිමිත්තක් වන්නේ “දූවේ ගල” නිසාය.


“දූවේ ගල” පිහිටා ඇත්තේ පොළොන්නරු රාජධානිය තමන්කඩුවේ එගොඩ පත්තුවේ හඳපාන්විල සහ බැණ්ඩිවිල අතරය.

දිඹූලාගල කඳු යාය පෙනෙන මානයේ පිහිටි “දූවේගල” ස්වාභාවික සෞන්දර්යන් අනූන අතීත සෙනසුන් වෙහරකි. මනරම් ගල් පොව්වෙන් සූසැදි මෙම අතීත වෙහෙර ලක් රාජ කතාවතේ නවාතැන් පොළ වන්නේ එහි සනිටුහන් ගිරි ලිපිය නිසාය. “දූවේගල” සනිටුහන් කළ ගිරි ලිපිය සිංහල රාජ ඉතිහාස වතේ ද ලක් සසුන් ඉතිහාසයේ ද නොමැකෙන උරුම සිරිතහි ජිවමාන සාක්‍ෂිය වන්නේ ය.

ලඤ්ජක තිස්ස දුටුගැමුණූ රජුගේ සොයුරු සද්ධාතිස්ස රජතුමාගේ දෙටු පුතණුවෝ වෙති. ලඤ්ජක තිස්ස රජ දරුවා ගැන අනගි තතු නිමිත්ත සටහන් වන්නේ දිගාමඩුල්ලේ ගිරිකුම්භිල විහාරය අතීතය නම් කර තිබු රජ ගල ය. එහි හමු වූ ලෙන් ලිපිය රජු අරභයා මහාවංශ තතු පවත වඩා දිගුව විස්තර කර ඇත්තේය.

දුටුගැමුණු කුමරුගේ ද සද්ධාතිස්ස කුමරුගේ රාජ බල අරගලය නිසා සිංහල භික්‍ෂු වංශය පෙර ඉතිහාසයේ නොවූ විරූ ලෙස අර්බුදයකට මුහුණ පෑවේය. ඒ ලක් සිහසුන අරභයා මතු වූ උරුමය නිසාය.




මහරජ ලෙස එළාර අනගිභවනීය තිබූ ඒ සමයේ දකුණු රාජධානියෙහි උරුම සිරිතට ගැමුණු - තිස්ස, අයිය - මලෝ යුධ වැදුණු විට ලක් සසුන ඒ අනුව දෙකට බෙදී යාමේ අනතුරක් මතු වුයේය. බුත්තල දී සිංහලයන් උන්උණුන් මරා ගනිමින් ඇතිවී ගිය සිවිල් යුද්ධය සිංහලයන්ගේ ලෙයින් රුහුණු තෙත් කරමින් තිබුණි. එවිට සාසනභාරධාරී මහා තෙරුන් වහන්සේලා මහත් වියවුලකට බඳුන් වූයේ මෙම ලේ හලන ගැටුමට ගෞතම ශිෂ්‍ය පූත්‍රයාන් ද හවුල් වන බිහිසුණු වතාවරණය නිසාය.



විජාතික රජුන් පළවා හැරීමේ ජාතික ප්‍රාර්ථනාව දැල්විය හැක්කේ ගැමුණු කුමරු රුහුණු රාජධානියට ඔසවා තැබීමෙන් බවට එක් සඟ පෙරමුණක් මතවාද පළ කර ඒ තුළින් භික්‍ෂුව බල දේශපාලනයට හැසිර වීමට ප්‍රවේශ වනු දක්නට හැකි විය.

මේ අතර බවුන් වඩමින් රුක් ගොමුවක ශෛල තලාවක වැඩ විසූ මහතෙර පරපුරට තව දුරටත් රමණීය ගංතෙරක හෝ වනසෙනසුනක උකටලීව සිටිය නොහැකි වතාවරණයක් මතුවුයේ සිහසුනේ කැරැල්ල සසුන කරා එළඹ තිබු බැවිණි.

කෙසේ හෝ නමුත් රණකාමයෙන් පෙරමුණේ උන් ගැමුණු බල ඇණිය විසින් සද්ධාතිස්සගේ බල ඇණිය පරදවා දැමීමත් සමඟ තිස්ස කුමර තෙමේ දිඝමණ්ඩල හෙවත් දීඝවාපියට පළා ගියේය. ඒ තනිවම නොව විහාර මහ දේවිය ද, මඟුල් ඇතු ද, කිරුළ ද, මඟුල් කඩුව ද, පෙරැස් මුදුව ද රැගෙනය.




දකුණු රාජධානියේ හදවත වුයේ දිගාමඩුල්ලය. එවිට දුටුගැමුණු කුමරුගේ ඊළග එළඹම වුයේ දිගාමඩුල්ල ආක්‍රමණය කර තම සොයුරු අල්ලා ගැනීමටය. මේ සඳහා බිහිසුණු යුධ ගැටුමකට පෙරමුණ දෙකෙහිම බල සෙනග රොඳ බදින කළ විහාර මහ දේවිය මෙම ජාතික උවදුර මැඩලීම පිණිස මහ සඟුන්ගේ අධ්‍යාත්මික පිවිසුම අපේක්‍ෂා කර රජගල සෙනසුනට සැපමිණියේ ය.



තිස්ස ධම්මික ගෝධත්ත තෙරුණුවෝ



එකල්හි එහි වැඩ විසුවේ විසිපස් වියැති සෝබන පිළිවෙත් සරු තරුණ යතිවරයෙකි. උන්වහන්සේ තිස්ස ධම්මික ගෝධත්ත තෙරුණුවෝය. තල ගොයන් ගැවසී ගල් පව්වකින් සපිරි වෙහෙර වැඩ විසූ මෙම තරුණ යති තෙමේ “ගෝධත්ත” නමින් උපනාමයක් ලැබ ජන වහරට එක් වන්නේ “ගෝධත්ත හාමුදුරුවෝ” නමිනි. තිස්ස ධම්මික වූ උන්වහන්සේ නිල නාමය පරදා බොහෝ ඉතිහාස ලේඛන වලද ගෝධත්ත යන ජන නාමය පටබැදී ඇත.

බල පෙරමුණ දෙකට භික්‍ෂුන්වහන්සේලා බෙදී සිටි මොහොතක මහ තෙරණුන් වහන්සේලා මුනිවත රැක සිටි අවධියක ධම්මික ගෝධත්ත හිමි මාගමට වැඩම කළේය. ඒ දුටුගැමුණු කුමරු හමුවීමටය. ඒ හමුවීමේ ප්‍රතිඵල වූයේ සිංහලයන් තම බල අරගල නිමා කළ යුතු බවට ඓතිහාසික එකඟතාවයකට පැමිණීමය. ඒ සමගම සද්ධාතිස්ස ද දුටුගැමුණු ද සමඟි දාමයක වෙලී බැඳීමය. මෙම ඉතිහාස සමඟි දම ඇති කර ගෝධත්ත ස්වාමීන්ද්‍රයාණන් වහන්ස යළි ස්වකීය ආරාමයට පිවිස බවුන් වඩන්න විය.

අනුරාගවාදී ජාතික රැල්ලක් හඹා විත් එළාර රජ පරාජය විය. ඒ දුටුගැමුණු සිහසුන් දරා ඉන් ඉක්බිතිව සද්ධාතිස්ස රජුගේ රාජ සමය උදාවිය. විසි සතර වසක් දුටුගැමුණු දහ අට වසක් සද්ධාතිස්ස ද රජ පත්ව සිටියහ. ඉන් ඉක්බිතිව සද්ධාතිස්ස පුත්‍ර ලඤ්ජක තිස්ස රජ බවට පත් වන්නේය.

එවිට තිස්ස ධම්මික ගෝධත්ත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සෑත්තෑ සත් වියැති පරිනත මහ තෙර නමකි. උන්වහන්සේ ශීලගුණෝසෝභිතව වැඩ වසමින් සිටියේ රාජගල සෙනසුන් වෙහෙරේය.



ජාතික රළ වේගය නිර්මාණය කිරීමට දේශපාලනයට බට සිංහල සඟුන් වහන්සේලා නිසාවෙන් ලක් සසුන දේශපාලනික වී තිබුණේය. විසි සතර වසක් දුටුගැමුණු රජුගේ රාජ පද බලය ආරෝපණය කර ගනිමින් සසුන් කෙත පිළිවෙත් මඟින් මිදී රාජ්‍ය බලයෙන් කිළිටි වී තිබුණි. 

 
 
 
ථේරපුත්තාභය නැවත සිවුරු හැර පිළිවෙත් සරු මගට වැඩිය බොහෝ සඟුන් වහන්සේලා දේශපාලනයේ ඇළී ගැලී ආමිසයේ ලෝලව කල් ගෙවන්නට විය.

තම සොයුරු ගැමුණු සමයහි ලක් සසුන ගොඳුරු වූ මෙම පළිබෝධ නැසීමට සද්ධාතිස්ස රජු මහත් වෙහෙසක් දැරුවේ ය. එතුමාණෝ භික්‍ෂුව රාජ දේශපාලනයෙන් හැකිතාක් ඈත්කර තබා ගත්තේ ය. සරුසාර ආරාම වෙනුවට නිසල තපෝ බිම් වෙත රජ නැමී ගිය අතර, ඒ නිසා දේශපාලන සඟුන් වහන්සේලා සද්ධාතිස්ස සමඟ අමනාපයෙන්ද පසුවිය.



නොමේරූ ලාමක සඟුන්ගේ බල උවමනාවට පූර්වාදර්ශය



දේශපාලන සඟුන් වහන්සේලාගේ මේ නොසතුටෙහි සෘජු ප්‍රතිඵල  වූයේ උන්වහන්සේලා රජුගේ පුත්කුමරුන් එකිනෙකා තම අරමුණට නංමවා ගැනීමට දැරූ අප්‍රසන්න තත්ත්වය ය. එම කිළිටි ප්‍රයන්තය සිංහල සසුනට මහත් විපතක් ඇති කිරීමට තරම් හේතු වු අතර, පසු කලක ලක් රජ කිරුළ ඒ මේ අත හසුරුවන නොමේරූ ලාමක සඟුන්ගේ බල උවමනාවට පූර්වාදර්ශය ද වන්නේය.

මෙවන් පසුබිමක රජ පත් වන සද්ධාතිස්ස පුත් කුමරු ලඤ්ජක තිස්ස මුහුණ දෙන්නේ  මහවිහාර සිරිත පදගත අරුතින් රැක සුරක්‍ෂා කර ගැනීමේ අධ්‍යාත්මික උවමනාවට ය. ළපටි ළමා වියේ ද දර්ශන ප්‍රේමි නුවණැති රජ දරුවෙකු ලෙස ඓතිහාසික තතු පවත් අතර ලඤ්ජක තිස්ස අර්ථ නිරූපණය වේ. ලඤ්ජක තිස්ස රජ කිරුළ දරන කල්හි තිස්ස ධම්මික ගෝධත්ත මහ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සිංහල භික්‍ෂු වංශය අසහාය සංඝ නේතෘවරයාණන් ගේ රාජ බහුමානයට ද, හූදී ජන වන්දනාවට ද පාත්‍රව වැඩ විසූවෝ ය.




ක්‍රි.පූ. 119  වර්ෂයෙ හි තත් කාලීන තතු විත්ති සොයා යාමට නිමිත්ත පහළ වන්නේ මෙම දාර්ශනික රාජ පුත්‍රයාද ශීල ගුණොත්සෝභිත සංඝ නේතෘවරයාද එක්ට මුණ ගැසෙන ඓතිහාසික ගිරි ලිපිය නෙත ගැටුණු දාය. දූවේගල ගිරි ලිපිය කියවීමෙන් අනතුරුව ලක් සසුන් ඉතිහාසය නැවත කියවීමට සිත බල කළේය.




මහාවංශය, දීපවංශය තතු පවත් වලින් සංඥා කර ඇති තතු වඩාත් දිගුම දැන නොගෙන දූවේගලින් ලද ඉතිහාස නිමිත්ත පසක් කර ගත නොහැකි බවද පසක් විය.

මේ අතර, පූජ්‍ය මැදඋයන්ගොඩ විමල කීර්ති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ද, මහාචාර්ය සෙනරත් පරණවිතාරන ශ්‍රීමාතාණන් සහ ඒ.ඩබ්. නිකලස් ශූරීන් වන් ඉතිහාසඥයන් දූවේගල සමඟ බැඳී දිගු විමංසා ගණනාවක නිරතව ඇති බැවින්, ඒ උතුමන්ලා පබැඳු තතු ලේඛන කියවන්න විමි. ඒ තුළින් දැනුනේ දූව ගලින් විහිද ලඤ්ජක තිස්ස, ගෝධත්ත තෙරිඳු ද මහත් කථා බහක් වී ලක් අතීත තතු පද එහි ලියවී ඇති අපූරුවය.

මේ තිදෙනා විසින් ක්‍රි.පූ. 119 - 109 දශකය සොයා ඇවිද ගිය පද වියමන් වලින් පසුව ලක් සසුන් වාර්තා වලට නෙත යා කළෙමි.

“සමන්තපාසාදිකා විනයට්කථාව” තිස්ස ධම්මික ගෝධත්ත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ “ආභිධම්මික ගෝධත්ත” නම් නව නමකින් සඳහන් කර ඇති අතර, පපඤ්චසූදනී මජ්ජිම නිකායට්ඨකථාවේ දී උන්වහන්සේ විශිෂ්ඨ බුද්ධි ප්‍රතිභාව ද ගෙන හැර පෑ තිබේ.

මෙලස ක්‍රි.පූ. 119 - 109 දස වස ලක් රාජ ඉතිහාස අමුතු දශකය බව පසක් වන්නේය. සසුන දිදුළවන මහා සංඝ නේතෘවරයාණන් වහන්සේ හමුවන ලඤ්ජක තිස්ස රජ තෙමේ සසුන නිමල කිරීමට ප්‍රචාරවාදී නොවූ සැබෑම මෙහෙවරකට එක්වේ.

පළමු පරාක්‍රමබාහුගේ සසුන් පුනරුදය ප්‍රචාරකවාදී ද ඒකාධිකාරී ද වුවද මෙම දසවසෙහි සසුන් කෙත නිමල කළ වත් පුවත පහන් සුවය කැළතුණු අපූරුත්වයෙන් අනුන අසිරිමත් වුවකි.



මේ අනුව එළාර පරාජය කර දැමීමේ දේශපාලන න්‍යාය පත්‍රයට පිවිසීම නිසා ගෞතම සසුන් න්‍යාය පත්‍රය කිළිටි වීමේ විපාකය ආපිටට හැරවීමට සිදුව තිබුණි. සසුන් සම්ප්‍රදාය හෝ එහි ප්‍රයෝගික ඥාණය නොදත් විතර්කවාදීන් තද විනය නීති මාර්ග යෝජනා කරන කළ ගෝධත්ත තෙරිඳු සසුන් කෙතින් විකසිත පූර්ණ ප්‍රජාතන්ත්‍ර දාර්ශනික ක්‍රම භාවිතායෙන් සසුන් ශෝධනයට එක්වන්නේය.


සිරිලක්දිව අග්‍ර විනිශ්‍යයකාර පදවිය තිස්ස ධම්මික ගෝධත්ත හිමියන්ට :




එහි  ඓතිහාසික පුදුමය වන්නේ ක්‍රි.පූ. 119 දි සිරිලක්දිව අග්‍ර විනිශ්‍යයකාර පදවිය තිස්ස ධම්මික ගෝධත්ත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට පිරිනැමීමය. ශ්‍රී ලාංකික නීතිය උත්තරීතර පදවිය භික්‍ෂුන් වහන්සේ නමකට හිමි වූ ප්‍රථම සහ එකම අවස්ථාව මෙය වන්නේය. එය ලෝක ඉතිහාසය ද ලක් ඉතිහාස සුවිශේෂී සන්ධිස්ථානයක් වන්නේ එබැවිණි. ‘දූවේගල’ ලෝක ඉතිහාස ජිවමාන පුරාවිද්‍යා සාක්‍ෂියක් වී ඇත්තේ එම නිසාය.

එබැවින් මේ ‘දසවස” දුවේගලින් ඈදී නිර්මල බුදු සසුන අරභයා මහත් අලංකාර මෙන්ම දාර්ශනික ඉතිහාස පවත් හා වෙලී බැඳුණකි. දූවේගල සමඟ ජනකථා මෙන්ම එකල්හි සමාජ තතු බහුල මහත් ඓතිහාසික තතු විත්ති සම්භාරයක් වේ.

ලඤ්ජක තිස්ස රජුගේ සිරිත ලක් ඉතිහාස සිරිතින් ජීවනයක් ලබා පුනරුද කර ගත යුතු තරමට නූතන අප වෙර වෑයක් දැරිය යුතුය. මන්ද රාජ දේශපාලන උවමනාවට සිතැඟි පරිදි සසුන තනා ගැනීමේ මහත් දුර්භාග්‍ය සම්පන්න විපාකයකට නූතන අප මුහුණ දී ඇත්තෙමු.

 ශීල ගුණෝසෝභිත පිළිවෙත් සරු ජාතියක් දේශයක් මෙහෙයවිය හැකි පරම පිවිතුරු සසුන් භාරධාරින් ඇවැසිමෙම විපරිත යුගයට “දූවේගල” නැවත කියවීමක් වේවා !



සුජිත් අක්කරවත්ත
දේශපාලන හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

කියවන්න - හදාරන්න : ලේඛකයාගේ වෙනත් ලිපි



තෙරණියකට පෙම්කොට  (වායාම 23 : සුජිත් අක්කරවත්ත)

තුන් බෑහිමි - අලකේශ්වර (වායාම 22 : සුජිත් අක්කරවත්ත)

සරාග රසායනය - (වායාම 21 : සුජිත් අක්කරවත්ත)

අදින්නාදාන පාරාජිකාව - (වායාම 20 : සුජිත් අක්කරවත්ත)

භල්ලුකගේ සොහන - -(වායාම 19 : සුජිත් අක්කරවත්ත)

මල් මද බිසෝ යොන් ලියන් -(වායාම 17 : සුජිත් අක්කරවත්ත)

ශාසනයත් දේශපාලනයත් බේරාගත් මධුසාදය -(වායාම 17 : සුජිත් අක්කරවත්ත)

මධු මී විවාදය : (වායාම 16) - සුජිත් අක්කරවත්ත

ග්‍රාමවාසයෙන් වනවාසයට -(වායාම 15) - සුජිත් අක්කරවත්ත

ප්‍රඥා සිහින යාමය -(වායාම 14) - සුජිත් අක්කරවත්ත

දේශපාලන සඟුන් - (වායාම 13) - සුජිත් අක්කරවත්ත

නන්දි මිත්‍රගේ පුරුෂ ලිංඟය (වායාම 12) - සුජිත් අක්කරවත්ත

පැවිදි ප්‍රේමය (වායාම 11) : ලක් සසුන් ඉතිහාසයේ ප්‍රේමය වෙනුවෙන් ජීවිතය පූජා කළ මුල්ම භික්‍ෂුව

වායාම 10 : නාග ශාපය - සුජිත් අක්කරවත්ත

වායාම 9 : මිණි මෙවුල් දම - සුජිත් අක්කරවත්ත 

වායාම 8 : සූකර පෝතිකා - සුජිත් අක්කරවත්ත

වායාම 7 : විජයගේ සරාග සුත්‍රය -සුජිත් අක්කරවත්ත

වායාම 6 :යක් දෙස්සෝ - සුජිත් අක්කරවත්ත

වායාම 5 : ගණ ගැටව් - සුජිත් අක්කරවත්ත

වායාම 4 : සරකානි ශාක්‍යසිංහ - සුජිත් අක්කරවත්ත

වායාම 3 : රාග දෙවොලේ රති කෙළි - සුජිත් අක්කරවත්ත 

වායාම 2 : පණ්ඩුකාභයගේ රති කෙළි දෙවොල -  සුජිත් අක්කරවත්ත

වායාම 1 : බාවරී සහ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ- සුජිත් අක්කරවත්ත

අහන්න ම වටිනා කතාවක් : 'බුදුදහම ආගමක් නොවේ' - සුජිත් අක්කරවත්ත

සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය – දෙවෙනි කොටස (Faculty of Sex)

සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය -- Faculty of Sex

සුජිත් අක්කරවත්තගේ සුකුමාල හෙවත් ජාන පූර්ණිකාව සංවාදයට

Leader Whats app

 

 

subscribeYT

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58