පෙර දින රැයේ නිදි දෙවඟන ප්‍රතිෂ්ඨ කරා පැමිණියේ නම් ඒ ඉතාමත් සීමිත කාල සීමාවකට පමණි. එය ද අවම අඩහෝරාවෙන් අඩ හෝරාවට මිස එක වර
හෝරාවක් හෝ ඔහු සමග නොරැඳෙමිනි. අන් පුද්ගලයෙකුට නම් එම සිදුවීම නිදි දෙවඟන කෙරෙහි කෝපය ජනිත කරන්නකි. එහෙත් ප්‍රතිෂ්ඨ එය බාරගත්තේ ඉමහත් ප්‍රහර්ෂයෙනි.
මන්ද ඔහු කරා නිදි දෙවඟන පැමිණි විලස ම සචේතනී ද ඒ අසල ම ගැවසුණා ය. ඔහු එයට රුචිකත්වයක් දැක්වුව ද තවත් පසෙකින් බියක් දැක්වූයේ ය. ඒ, කිසියම් ආකාරයකින් ඔහු ස්වප්න ලොකයේ සචේතනී සමග සැරිසරන මොහොතක ඇගේ නම අඬගසාවිය යන සැකයෙනි; එසේ සචේතනීගේ නම අඬගසන මොහොතක ඒ හඬ ප්‍රතිෂ්ඨගේ බිරිඳ වන තිලෝකාගේ සවන් තුළට රිංගා ය යන සැකය හේතුවෙනි.
ඔහු පෙර දින රැයේ කෙතරම් කාලයක් සචේතනී සමග ස්වප්න ලෝකයේ සැරි සැරුව ද ඒ පිළිබඳ අල්ප මාත්‍රයක් හෝ තිලෝකා දැන නොසිටි බව අලුයම හතරයි තිහ වන විට පසක් විය; දවසේ කටයුතු සුබවාදි ලෙස ඇරඹීමට එකී තත්ත්වය උත්තේජනයක් සැපයී ය.
**********
ප්‍රතිෂ්ඨ දිනපතා ම රාත්‍රී නින්දට පෙර සිය ජංගම දුරකතනය විසන්ධි කරයි; එය නැවත ක්‍රියාත්මක කරන්නේ නිවසෙන් පිටව යාමට ආසන්න මොහොතේ දී ය. කුමන හෝ කටයුත්තක් සඳහා හෙතෙම නිවසෙන් බැහැර වන්නේ ජංගම දුරකතනය විසන්ධි කර තිබූ කාලය තුළ පැමිණි ඇමතුම් ගත් පුද්ගලයාට අමතා සහ කෙටි පණිවිඩ සියල්ල සඳහා පිළිතුරු සැපයීමෙන් අනතුරුව ය. එදින ද එබඳු කෙටි පණිවිඩ අතර ‘‘Pratishtha... good morning..! What time shall I come to meet you? Let me know a convenient time for you.’’ යනුවෙන් පණිවිඩයක් සටහන්ව තිබිණ. එය අන් කිසිවකුගෙන් නොව සචේතනිගෙනි.
‘හම්ම්ම්... ඒ කියන්නෙ මෙයා උදෙන් ම එන්නෑ. ඒක වැඩිය හොඳයි. දැන් මට පුළුවන් ටිකක් වැඩ කරන්න. ම්ම්ම්... ලන්ච් එකෙන් පස්සෙ ටයිම් එකක් අල්ලල එන්න කිව්වනං හරි...’
කිසියම් තීරණයකට එළඹි ප්‍රතිෂ්ඨ ‘‘Good morning Sacheti...! You just come together. Then we can talk about our work.’’ ලෙස කෙටි පණිවිඩයක් සචේති වෙත යැව්වේ ඇගේ කටයුත්ත සම්බන්ධයෙන් පෙර දින රාත්‍රියේ කළ සොයා බැලීම් සාර්ථක වීම පිළිබඳ ප්‍රහර්ෂයෙනි. නමුත් එය පල දරන්නේ අද දිනයේ ඇය හමුවීමෙන් අනතුරුව ය.
********

උදෑසන සිට සන්සුන් ලෙස සිය කටයුතුවල නියැළෙමින් සිටි ප්‍රතිෂ්ඨ දහවල් දොළහ පමණ වන විට මඳ නොසන්සුන්තාවකට පත් පත්වෙමින් සිටියේ ය. ඒ, දැන් දැන් සිය දුරකතනයට පැමිණෙතැයි අපේක්ෂිත ඇමතුම හෝ කෙටි පණිවිඩය සම්බන්ධයෙනි.
‘මෙතනට ඇවිත් කොල් කරනකං හරි මැසේජ් එකක් එවනකං හරි ලොකු බලාපොරොත්තු තියාගන්න ඕන නෑ. එයාට වැඩේ උවමනා නමං ඇවිත් කතා කරයි නෙ...’
ප්‍රතිෂ්ඨ තමා ගෙන්ම විමසාගත්තේ ය.
**********
විටින් විට අත් ඔරලෝසුව වෙත ද, ‘Meeting’ ආර සක්‍රීය කර මේසය මත තබා ඇති තම ජංගම දුරකතනය වෙත ද දෙනෙත් සහ මනස යොමුකරමින් සිටි ප්‍රතිෂ්ඨට එක්වර ම දුරකතනයේ ආලෝකය දැල්වෙනු දක්නට ලැබිණ. ඔහු දුරකතනය දෙස දෙනෙත් ඇලවූ සැණින් ම එතැනින් ගලවා තම අත් ඔරලෝසුව මත ඇලවී ය. එහි පැය කටුව දොළහේ ඉලක්කමත් එකේ ඉලක්කමත් අතර ද, මිනිත්තු කටුව එකොළහේ ඉලක්කමේ ද රැඳී තිබිණ. දුරකතනය වෙත පැමිණියේ ඇමතුමක් නොව කෙටි පණිවිඩයකි. අත් ඔරලෝසුවේ සඳහන් කාලයට අනුව එම කෙටි පණිවිඩය අනිවාර්යයෙන් ම තමා අපේක්ෂිතව සිටි ඇමතුම බව ඔහු පසක් කරගත්තේ ය.
කිසිදු කලබලයක් හෝ නොසන්සුන්තාවයක් ප්‍රදර්ශනය නොකළ ප්‍රතිෂ්ඨ ජංගම දුරකතනය අතට ගෙන කෙටි පණිවිඩය විවෘත කළේ ය.
‘‘Prathishtha... I am here. Are you coming to the lobby... shall I come upstairs...?’’
ඔහු නිවැරැදි ය; එය ඔහු අපේක්ෂාවෙන් සිටි පණිවිඩය යි; ඔහු ප්‍රහර්ෂයට පත් කරන පණිවිඩය යි.
‘‘No no Sacheti...... you don't come up. I will come to the lobby.’’
වහා ප්‍රතිචාර දැක්වූ ප්‍රතිෂ්ඨ තම ලිපි ගොනුව එකලස් කරගත් සැණින් එතෙක් පරික්ෂා කරමින් සිටි පුස්කොළ පොත Supply counter (සැපයුම් කවුළුව) වෙත බාර දී අත් බෑගය ද රැගෙන ඉක්මනින් ම බිම් මහලට පිය නැගී ය.
‘නැ නෑ... එච්චර ඉක්මනට යන්න ඕන නෑ... හෙමිහිට යන්න ඕන; ගානක් නැතුව වගේ යන්න ඕන.’ යැයි සිතූ ප්‍රතිෂ්ඨ ඉතා සීරුවෙන් ආලින්දය වෙත ගමන් කළේ ය. ඔහුට වුවමනා වූයේ සචේතනීට නොදැනෙන්නට දුරින් සිට ඇය නිරීක්ෂණය කිරීම ය. එවිට ඇය ඔහු එන තෙක් රැඳී සිටින ආකාරය අනුව එය හුදෙක් ආත්මාර්ථය සඳහා පමණක් රැඳී සිටිනවා ද, ඔහු මෙන් ම ඇය ද තමා කෙරෙහි ආසක්තව රැඳී සිටිනවා ද යන්න නීර්ණය කළ හැකි යැයි ඔහු අදහස් කළේ ය.

ප්‍රතිෂ්ඨ ඉදිරියට ගමන් කළේ ඍජුව ම එම රුපකාය වෙත දෙනෙත් එල්ල කරගෙන ම ය. එක් වර ම එම රූපකාය ඉඳ සිටි අසුනෙන් නැගී සිටියේ ප්‍රතිෂ්ඨ බලාපොරොත්තු නොවූ ලෙසිනි.
‘හම්ම්ම්... මාව දැකලද කොහෙද... ඒ බව නොදැක්ක විදියට ඉස්සරහට යන්න ඕන...’
පළමුව නිකුත් වූයේ සචේතනීගේ ළයාන්විත, මෘදු හඬ ය.
‘‘ඉතිං... කොහොම ද... මං වේලාසන වැඩි නෑ නේද...?’’ යැයි විමසුවේ ප්‍රතිෂ්ඨගේ අත්ල මෘදු ලෙස තෙරපන අතරවාරයේ ය.
‘‘නෑ නෑ... ඒකෙ අවුලක් නෑ... මං දවසට ම සෑහෙන වැඩ කොටසක් කරගත්ත.’’
සචේතනීට එක් වරම ප්‍රතිෂ්ඨගේ පිළිතුර වටහා ගැනීම අපහසු වූවා ය. ඒ අතර ඇගේ අත මුදවාගත් ප්‍රතිෂ්ඨ ‘‘අපි අතනිං වාඩි වෙමු ද...?’’ යැයි විමසන අතර ම මඳක් කෙළවරට වන්නට තිබූ සෝපා කට්ටලය දෙසට අත දිගු කළේ ය.
‘‘කමක් නෑ... යං...’’ යැයි පවසන විටත් ප්‍රතිෂ්ඨ එදෙසට ගමන් කරමින් සිටි බැවින් ඇය ද ඔහු පසුපස වැටුණා ය.
ලේඛනාගාර ආලින්දය පුරා ම හිස් අසුන් පැවතියේ ඉතා අවම ප්‍රමාණයකි. ප්‍රතිෂ්ඨ පෙන්වූ සෝපා අසුන් කට්ටලය තබා තිබුණේ ආලින්දයේ කෙළවරට ම වන සේ ය. එබැවින්දෝ එහි පැමිණෙන බොහෝ දෙදෙනකුගේ අවධානය එම සෝපා කට්ටලය වෙත යොමු නොවිණ.
ප්‍රතිෂ්ඨ ගොස් දිගු සෝපා අසුනේ කෙළවරක අසුන් ගත් පසු පසුපසින් පැමිණි සචේතනී ප්‍රතිෂ්ඨගේ වමත්පස තිබූ අසුනේ අසුන් ගත්තා ය.
‘‘හම්ම්ම්... ඉතිං... කොහොම ද...’’
එවර වදන් මුදා හළේ ප්‍රතිෂ්ඨ ය.
‘‘ම්ම්ම්... විශේෂත්වයක් නෑ... ලේඛක ප්‍රතිෂ්ඨ කුලගුරු මහත්මයාගේ උපකාර බලාපොරොත්තුවෙන් කල් ගෙව්ව.’’
සචේතනී ඊට පිළිවදන් සැපවූයේ විදග්ධ විලාසයකිනි.
‘‘පිස්සු... ලංකාවෙ ඉන්න ලේඛකයොත් එක්ක බලද්දි මං මොන ලේඛකයෙක් ද සචේති...’’
එතෙක් උරිසේ රඳවාගෙන සිටි අත් බෑගය ටීපෝව මත තබන අතර ම මන්දස්මිතයක් පෑ ප්‍රතිෂ්ඨ පැවසී ය.
‘‘නැ නෑ... මං පහුගිය දවස්වල ඔයාගෙ ප්‍රොෆයිල් එක චෙක් කරා. මං හිතුවට වඩා කොල්ල මාර ටැලන්ටඩ් නෙ...’’ යැයි පැවසූ සචේතනී ඇගේ උවන ප්‍රහර්ෂණාත්මක සිතුවමකින් සරසා ගත්තා ය.
‘‘මං කොහෙද අනේ කොල්ලෙක් වෙන්නෙ...? මට දැන් හතළිස් පහත් පැනල; ඔයාටත් වැඩිය ඉදිරියෙන්; ඒ කියන්නෙ පනහෙ කණුව ළඟමයි. ඉතිං...’’
ප්‍රතිෂ්ඨ ඉන් ඔබ්බට යමක් පවසන්නට පෙර ම ඔහු වැළකූ සචේතනී ‘‘මං මේ කියන්නෙ කැලැන්ඩරේ කොළ ඉරන මිම්මෙන් මැනල නෙවෙයි අනේ... මං කියන්නෙ අදහස් පැත්තෙං. ඇත්තට ම ඔයා ලියන දේවල් හරි නැවුම්. ඒකයි මං කිව්වෙ.’’ යැයි පවසන අතර ම ඉඳ සිටි අසුනේ මඳක් ඉදිරියට පැමිණ කඳ මඳක් ඉදිරියට නමා ඇගේ දෙනෙත් ඍජුව ම ප්‍රතිෂ්ඨගේ දෙනෙත් තුළ බහාලුවා ය. අනතුරුව ඔහුගේ දෙනෙත් පුරා සක්මන් කළේ සැඟවුණ යමක් සොයන ලෙසිනි.

ආ... ඒ කිව්වෙ මේ... දවසකින් කරන තරම් වැඩ කොටසක් වරුවකිං කරගත්ත කියල. මෙහ්... ඒක නෙවෙයි... මට බඩගිනියි. ඔයත් කාල නැතුව ඇති නෙ... අපි කන්න යමු ද...?’’ යැයි විමසන අතර ම ටිපෝව මත තිබූ සිය අත්බෑගය ගන්නට සැරසිණ.
එසැණින් ම ප්‍රතිෂ්ඨගේ අතින් අල්ලාගත් සචේතනී ‘‘මේ... ඔයා ගෙදරින් කෑම ගෙනාව ද...?’’ යැයි විමසුවේ මීට පෙර ප්‍රතිෂ්ඨ ආහාර රැගෙන එන බව නොදන්නා සේ ය.
අත් බෑගය අත් නොහැරි ප්‍රතිෂ්ඨ ‘‘ඔවු... මං ඉතිං කොහොමත් ගෙදරිං කැම ගේනව නෙ.. ඇයි... ඔයා මටත් එක්ක කැම ගෙනාවද...?’’ යැයි විමසුවේ උපහාසාත්මක සිතුවමක් උවනතේ චිත්‍රණය කරගන්නා අතර ය.’’
‘‘නෑ ප්‍රතිෂ්ඨ... මං කෑම ගෙනාවෙ නෑ... මං හිතුවෙ ඔයා කෑම ගෙනල්ල නැත්නං එළියට ගිහිං කාල එමු කියන්න.’’ යැයි පැවසුවේ ආයාචනාත්මක ස්වරයෙනි.
‘‘ආ... ඔයා මට උදෙන්ම එවපු මැසේජ් එකේ ඒ ගැන සඳහන් කරල තිබුණ නං මට කෑම නොගෙනවිත් ඉන්න තිබුණ. මොකද කෑම එක නොගෙනනව නං ඒකට හේතු දක්වන්නත් ඕන නෙ...’’ යැයි පැවසුවේ මන්දස්මිතයක් පාමිනි.
එසැණින් සචේතනී උවන පුරා ස්මිතයක් සිතුවම් කරගන්නා අතර ම ‘‘කාටද හේතු දක්වන්න ඕන... වයිෆ්ට ද...’’ යැයි විමසුවා ය.
‘‘ඔවු ඉතිං... වෙන කාට ද...? මොකද එයා උදෙං ම නැගිටල උයනව නෙ...’’
‘‘ආ... ඒකයි මේ...’’
‘‘ඔවු... හදිසියෙවත් කවුරුහරි එක්ක එහෙම ලන්ච් එහෙකට යන්න බලාපොරොත්තු වෙනව නං මං කලිං දවසෙ කියනව. එතකොට මටත් එක්ක උයන්න ඕන නැහැ නෙ... අනික එහෙම උයල අහක දාන්නත් හොඳ නැහැ නෙ...’’
‘‘හරි හරි... මට තේරෙනව... ඔයාට බඩගිනි නං යමු,’’ යැයි පැවසු සචේතනී ඉඳ සිටි අසුනෙන් නැගි සිටියේ කිසියම් සිත් තැවුලකින් බව ප්‍රතිෂ්ඨට හැඟිණ. එහෙත් ඒ බව බිඳක් හෝ නොහැඟවූ ඔහු ද ඉඳසිටි අසුනෙන් නැගිට ‘‘යං,’’ යැයි පවසා කොරිඩෝව දෙසට හැරිණ.
ලේඛනාගාරයෙන් පිටතට පැමිණි සැණින් ප්‍රතිෂ්ඨගේ වම් උරිසේ ගෑවෙන නොගෑවෙන තරම් ආසන්නව ගමන් කළ සචේතනී මඳ දුරක් ගොස් ‘‘කොහොමද අපේ වැඩේ... මොකක් හරි පොටක් පෑදුණා ද...?’’ යැයි විමසුවේ ඇගේ ගෙල දකුණු පසට මඳක් හරවමින් ප්‍රතිෂ්ඨගේ උවනතෙහි වම්පස වෙත අවධානය යොමු කරමිනි.
ප්‍රතිෂ්ඨ, උවනෙහි කිසිදු වෙනසක් මතු නොකරමින් ම ඉදිරිපස බලා ගමන් කරන අතර ම ‘‘ඔවු... පොටක් පාදගත්ත... අපි කන ගමං කතා කරමු.’’ යැයි පැවසී ය.
ඉවර නෑ...

නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2022/08/12
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්
වජ්ජා’වජ්ජ 30 : නීතිය කියන්නෙ වල් වැදුණු සංකල්ප ගොන්නක් - (ජයසිරිගේ නවකතාවක්)
වජ්ජා’වජ්ජ 28 : අවුරුද්දක් ඉවසන්න - (ජයසිරිගේ නවකතාවක්)
වජ්ජා’වජ්ජ 27 : දීපු බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ම වෙනව නෙ... - (ජයසිරිගේ නවකතාවක්)
වජ්ජා’වජ්ජ 26 : 'ඔවු... අපිට අවම විනය ක්‍රියා පටිපාටියකට යන්න වෙනව' -(ජයසිරිගේ නවකතාවක්)
වජ්ජා‘වජ්ජ 25 : මං බඳිද්දි මට අවුරුදු විසි එකයි -(ජයසිරිගේ නවකතාවක්)
වජ්ජා’වජ්ජ 24 - අපි ජීවත් වෙන්නෙ ආසියාතික කලාපෙ නොදියුණු ම රටක - (ජයසිරිගේ නවකතාවක්)
වජ්ජා’වජ්ජ 23 - ගඩොල් තාප්ප කැඩුවට මිනිස් තාප්පෙකින් අපි හැමෝ ම වට කරල - (ජයසිරිගේ නවකතාවක්)
වජ්ජා’වජ්ජ 22 : 'දැං වැඩේ හොඳට ම පත්තු වෙලා ඉවරයි'
වජ්ජා’වජ්ජ 21 - ඔයා දන්නව ද ඒ කවුද කියල...? - ( ජයසිරිගේ නවකතාවක්)
වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)
වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)
වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)
වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)
වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )
වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)
වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව
වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)
වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)
වජ්ජා’වජ්ජ 10: දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)
වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)
වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...
වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස්
වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි
වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි
වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි
වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..
වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.