ලේඛනාගාරයෙන් පිටතට පැමිණි සැණින් ප්‍රතිෂ්ඨගේ වම් උරිසේ ගෑවෙන නොගෑවෙන තරම් ආසන්නව ගමන් කළ සචේතනී මඳ දුරක් ගොස් ‘‘කොහොමද

අපේ වැඩේ... මොකක් හරි පොටක් පෑදුණා ද...?’’ යැයි විමසුවේ ඇගේ ගෙල දකුණු පසට මඳක් හරවමින් ප්‍රතිෂ්ඨගේ උවනතෙහි වම්පස වෙත අවධානය යොමු කරමිනි.

ප්‍රතිෂ්ඨ, උවනෙහි කිසිදු වෙනසක් මතු නොකරමින් ම ඉදිරිපස බලා ගමන් කරන අතර ම ‘‘ඔවු... පොටක් පාදගත්ත... අපි කන ගමං කතා කරමු.’’ යැයි පැවසී ය.

**********

ආපණ ශාලාවට පය තැබූ සැණින් ම සචේතනී කොන්දේසියක් පැනවූවා ය.

‘‘මේහ්... මං ගිහින් මට කන්න මොනව හරි ගන්නං. ඒ එක්ක ම ඔයාටත් ස්පෙෂල් මොනව හරි ගන්නං. ඔයා පර්ස් එක අදින්න හදන්න එපා. ඒනිසා මං එනකං ඔයා අත් එහෙම හෝදගෙන හොඳ තැනකිං වාඩිවෙලා ඉන්න හරි ද...’’

new york restaurant 1.jpgLarge

සචේතනීගේ වදන් එක් පසෙකින් කොන්දේසියක් බඳු වුව ද තවත් පසෙකින් ගත් විට එය අහිංසක ආරාධනාවක් හෝ ඉල්ලීමක් නොවේදැයි ප්‍රතිෂ්ඨට හැඟිණ. එනිසා ඇගේ අදහසට කිසිදු විරුද්ධත්වයක් නොපෑ ප්‍රතිෂ්ට ‘‘හොඳයි හොඳයි මැඩම්... ඔයා කැමති විදියක් කරන්නකො...’’ යැයි පවසා උවන පුරා සෙව්වන්දියක සිත්තම් කළේ ය. එහි ගැබ්ව තිබුණේ ඔහුගේ මුවෙන් නිකුත් කළ වදන් අභිභවන අරුතකි. එය කියවාගන්නට සචේතනී අපොහොසත් වුව ද ප්‍රතිෂ්ඨ තමාට ම එය පවසාගත්තේ ය.

‘කොහොමටත් මගේ පර්ස් එක අදින්න විදියක් නෑ සචේති. මොකද ඒකෙ ඇතුළෙ අතුරල තියෙන කඩදාසිවල වටිනාකම හුඟක් ම අවමයි. ඒ වගේ ම ඒ කඩදාසි එළියට අදින්න වෙන්නෙත් හුඟක් අර පරිස්සමෙන්.’

ආපණ ශාලාවේ එක් කෙළවරක පිහිටි මේසයක් වටා තබා ඇති අසුන් අතුරෙන් එහි ඇතුළුවීමේ දොරටුව දෙසට මුහුණ ලා ඇති අසුනක අසුන් ගත් ප්‍රතිෂ්ඨ සචේතනී පැමිණෙන තෙක් තමාගේ ආහාර පාර්සලය දිගහැර සූදානම් වෙමින් සිටින අතර සචේතනී ද බත් සහිත පිඟානක් සහ තවත් කුමන හෝ දෙයක් සහිත පිඟානක් ද රැගෙන විත් ප්‍රතිෂ්ඨගේ වම් පසින් අසුන්ගැනීමට සූදානම් වන අතර ම ‘‘ඔන්න මං ඔයාට බැදපු මාළුයි ගොටුකොළ සම්බෝලයි ගෙනාව. මං හිතනව ඔයා ඒවට කැමති ඇති කියල,’’ යැයි පවසනා අතර ම බත් පිඟාන, බැදපු මාළු කූරි දෙකක් සහ ගොටුකොළ සම්බෝල පීරිසියක් සහිත පිඟාන මේසය මත තබා ‘‘ඉන්න... මං අත සෝදගෙන එන්නම්, යැයි පවසා අත් සෝදා ගැනීම සඳහා සවි කර ඇති බේසම (සින්ක් එක) අසලට ගමන් කළා ය.

‘මෙයාටත් පරචිත්ත ඥානය තියෙනව ද මංදා... මට මතක විදියට නං මං ගොටුකොළ සම්බෝලෙට ආසයි කියල මෙයාට නං කියල නෑ. බැදපු මාළුවලට නං ඉතිං හුඟ දෙනෙක් කැමතියි නෙ. ම්ම්ම්... සමහර විට මෙයා මේ වර්ග දෙකට ආස ඇති.’

‘‘මොනවද අනේ ඔයා මාළු කූරියො දෙන්න දිහා බලාගෙන කල්පනා කරන්නෙ... ‘අනේ පවු ජීවිත දෙකක් නෙ...’ කියල හිතුව ද...?’’

ප්‍රතිෂ්ඨ කල්පනා දැහැනෙන් මිදුණේ සචේතනීගේ මිහිරි හඬ දෙසවන් තුළින් රිංගා සමස්ත සිරුර පුරා ම ප්‍රසාරණය වන නිමේෂයේ ය.

‘‘ආ... න්... නෑ මේ... මං කල්පනා කරේ ඔයාට පරචිත්තවිජානන ඥානය තියෙනව ද කියල. මොකද ඇත්තට ම මං ගොටුකොළ සම්බෝලෙට හරිම ආසයි. ඒකෙං කියවෙන්නෙ නෑ බැදපු මාළුවලට ආස නෑ කියල. ඒවට ඉතිං මස් මාළු කන ඕන ම කෙනෙක් කැමතියි නෙ... හැබැයි සචේති මේ ගොටුකොළ සම්බෝලෙ රස වුනත් ගුණ නෑ...’’

‘‘ඒ කිව්වෙ...!’’

සචේතනී තරමක් විමතියෙන් මෙන් විමසුවා ය.

‘චහ්... මං කට වරද්දගත්ත ද මංද... දැං ඉතිං කියහංකො විස්තර...’ යැයි නොපවසමින් තත්ත්පර කිහිපයක් සචේතනීගේ දෑස් මත ඔහුගේ දෑස් තැන්පත් කළේ ය.

Gillow, Olivia; Cradle Soap I; Bethlem Museum of the Mind; http://www.artuk.org/artworks/cradle-soap-i-192888

ප්‍රතිෂ්ඨ ඔහුගේ දෑස් තම දෑස් මත තැන්පත් කරන්නේ කුමක් හෝ විශේෂත්වයක් හේතුවෙන් බව මේ වන විට සචේතනී අවබෝධ කරගෙන සිටින්නී ය. එහෙත් එම තත්ත්වය මගහැරවූ ඇය ප්‍රතිෂ්ඨ වෙතින් පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඔහුගේ දෑස් සමග සම්මුඛ වූවා ය.

‘‘නෑ... මං කිව්වෙ මේ... මෙහේ වැඩිපුර ම තියෙන්නෙ පෝච්චි ගොටුකොළ නෙ. අනික ඒව හදන්නෙ රසායනික පෝර දාල. නියම ගුණය ගන්නනං කන්න ඕනෙ ඔය තේ ඉඩංවල, රබර් ඉඩංවල, පොල් ඉඩංවල එහෙම වැවෙන වැල් ගොටුකොළ. ඒක තමයි ඖෂධ ගොටුකොළ. මේව නිකං මේ නමට ගොටුකොළ වුණාට ගුණ අඩුයි, රසත් අඩුයි... ඔයා කාල තියෙනව ද වැල් ගොටුකොළ...?’’

‘‘අපොයි ඔවු... මං ගමේ ඉද්දි ඇති පදං කාල තියෙනව. ඒ විතරක් නෙවෙයි කැඳ හදලත් බීල තියෙනව. තව මට මතකයි අපි පුංචි කාලෙ කැස්ස හැදුන ම මේ... ගොටුකොළ කොටල ඉස්ම අරගෙන, ඒකට ගිනියං වෙනකං රත්කරපු ඇණයක් දාල, ඇණේ ‘චිරිස්’ ගාල නිවුණට පස්සෙ ඇණේ එළියට අරගෙන අර ගොටුකොළ ඉස්ම බොන්න දෙනව.’’

‘‘හම්ම්... ඔය තියෙන්නෙ... මමත් එහෙම බීල තියෙනව. ඇත්තට ම දවස් තුනක් විතර උදේට ඒව බිව්වම කැස්ස සනීප වුණා.’’

ප්‍රතිෂ්ඨ ද සිය ළමා අවධියේ මතක සිහිකරමින් පැවසී ය.

‘‘හම්ම්ම්... ඒක නෙවෙයි ප්‍රතිෂ්ඨ... මොකද්ද අර අපේ වැඩේට ‘පොටක් පාදගත්ත’ කිව්වෙ...?’’

‘‘කෑම කා අවසන් වීමට ආසන්නව සිටි සචේතනී අපගේ ආ-ගිය කතා අතර ම ඇගේ මුඛ්‍ය අරමුණට අදාළ පැනය මුදා හැරියා ය.’’

‘‘ආ ඔවු... මං ඒ පංසලේ ෆෝන් නම්බර් එක හොයාගත්ත.’’

ප්‍රතිෂ්ඨ පැවසුවේ ඉතා සැහැල්ලුවෙනි. නමුත් එය සැහැල්ලුවෙන් බාරගැනීමට සචේතනී සූදානම් නොවූවා ය.

‘‘හා නේ... ඔය ඇත්ත ද...! ඔයා නං මාරයි ආ... ඔයා ඉතිං ලේඛකය වගේ ම මාධ්‍යවේදිය නෙ... නේද...?’’

 

ඇය එසේ විමසන විට ප්‍රතිෂ්ඨ මන්දස්මිතයකින් පිළිතුරු සැපයුව ද ඇගේ උවනතේ දක්නට ලැබුණේ දිගු කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි යම් දෙයක් හෝ පුද්ගලයෙක් ඇය ඉදිරියේ ප්‍රාදුර්භූත වූවා බඳු හැඟීමකි. ඇගේ දෙනෙත් මඳක් විසල් විය; ඉදී රත් පැහැ ගැන්වූ වෙරළු පතක් බඳු දෙලවන් සඟලින් ආවරණය වී තිබූ මුක්ත පෙළක් වන් ශ්වේත වර්ණ දසන් ඉතා මැනවින් දිස් විය. එය මතින් විහිද ආ ආලෝක කදම්බ ප්‍රතිෂ්ඨගේ දෙනෙත් තුළට ඇතුළු විය; ඔහුට සිය දෙනෙත් බිඳක් හෝ සොලවන්නට නොහැකි තරමට ඒ ආලෝක කදම්බය ප්‍රබල වී තිබිණ. එහෙත් එය සැණෙකින් අතුරුදන් වූයේ සචේතනී කෑම කා අවසන්ව නැගී සිටි බැවිනි. නමුදු ඇගේ මිහිරි හඬින් මුදා හළ වදන් පොකුරක් ඔහුගේ සවන් තුළට රිංගාගත් බැවින් යළි සමස්ත සිරුර පුරාම මිහිරියාවක් පැතිරිණ.

 

‘‘හරි... ඔයා හෙමිහිට කන්න... මං වටලප්පන් දෙකකුත් ඕඩර් කරල ආවෙ. මං ගිහින් ඒකත් අරගෙන එන්නං’’

වටලප්පන් කැබැල්ලක් දිවග තබන විට දැනෙන රසයට වඩා රසයක් ඇගේ පූර්ණ ස්මිතයත්, වදන් තුළත් ගැබ්ව ඇතැයි ප්‍රතිෂ්ඨට හැඟිණ. ඒ රසය ඔහු වින්දේ ඇගේ වදන්වලට පිළිවදන් ලෙස නිහඬ මන්දස්මිතයක් උවනේ සිතුවම් කරමිනි.

‘‘දැන් අපි ඒ නොම්මරේට කෝල් කරනව ද... ?’’

වටලප්පන් රස විඳින අතර ඇය විමසුවා ය.

‘‘නැතුව ඉතිං... නොම්මරේ හොයාගත්තෙ ඒක දිහා බල බල ඉන්නද...?’’

ප්‍රතිෂ්ඨ එසේ විමසුවේ උපහාසාත්මක ස්වරයෙන් වුව ද ඔහුගේ උවනේ රැඳී තිබූ මන්දස්මිතය එම උපහාසාත්මක ස්වරයට වඩා ප්‍රබල වූ බැවින් සචේතනී අහුලාගත්තේ උපහාසාත්මක ස්වරය නොව මන්දස්මිතය යි.

‘‘එහෙනං ඉතිං දැං ගමුකො කෝල් එකක්.’’

15677167 cherry on top front smසචේතනී, ඇගේ නොඉවසිලිවන්ත භාවය ප්‍රදර්ශනය කරමින් විමසුවා ය.

‘‘ඔවු ගමු... හැබැයි ඔයා කතා කරන්න ඕනෙ... මොකද සිද්ධිය වාර්තා කරන්න පුළුවන් ඔයාට නෙ...’’

ප්‍රතිෂ්ඨ සචේතනී වෙත පැවසුවේ බරපතළ වගකීමක් පවරන ආකාරයෙනි.

‘‘පිස්සු ද අනේ... මට නම් බෑ ඔය හාමුරුවරුන්ට කතා කරන්න. ඔයා ඉතිං දැං විස්තරේ ඔක්කොම දන්නවනෙ... ඔයා ම කතා කරන්නකො...’’

සචේතනී පන්දුව යළි ප්‍රතිෂ්ඨ වෙතට පා කර හැරියා ය.

‘‘හහ් හහ් හා... හාමුදුරු කෙනෙකුට කතා කරන නිසාම තමයි මං ඔයාට කතා කරන්න කියල කිව්වෙ. එයාල උපාසක මහත්තුරුංගෙ කට හඬට වැඩිය කැමති උපාසක නෝනලගෙ කටහඬවල් අහන්න.’’

ක්ෂණිකව ම අවට සිසාරා නෙත් යොමු කළ සචේතනී මන්දස්මිතයක් ද මඳ අමනාපයක් ද මුසු සිතුවමක් උවනේ සිත්තම් කරගත්තා ය; ඇය මඳ ලජ්ජාවකට ද පත්වූවා ය.

‘‘පිස්සු කතා කියන්නෙපා ප්‍රතිෂ්ඨ... හොඳ වෙලාවට අහල පහල කවුරුත් නෑ. කාට හරි ඇහුණ නං එහෙම ලජ්ජාවෙ බෑ.’’

ඒ වදන් පොකුර ඇගේ මුවෙන් විසි කිරීමට පෙර පැවති මඳ අමනාපය සැණින් අතුරුදන්ව ගොස් ශ්වේත වර්ණැති දසන් දක්වා ස්මිතයක් නගන්නට තරම් ඇය ක්ෂණික වෙනසකට බඳුන් විය.

‘‘නැ නෑ... මං කියන්නෙ විහිළු නෙවෙයි... අපි පොඩ්ඩක් එළියට ගිහින් හෙමිහිට කෝල් කරල බලමු. කවුරු හරි ආන්සර් කරයි නෙ... ඊට පස්සෙ ඔයා සිද්ධිය කියන්න. අපි බලමු ඒ පැත්තෙන් ලැබෙන ප්‍රතිචාර කොහොම ද කියල.’’

‘‘අනේ මංද ප්‍රතිෂ්ඨ...’’

ඇය යළි පසුබා යන සේයාවක් දැක්වූවා ය.

ඇගේ හැසිරීම් මායිම් නොකළ ප්‍රතිෂ්ඨ ආපණ ශාලාවෙන් පිටතට ගමන් කරන්නට සූදානම් වන විට ඇය ද ඔහු පසුපස ම ඇදුණා ය.

ec60fb4c0c8f0c7ec5aa2d52779f62f0

කිසිදු කතාබහකින් තොරව නිදහස් චතුරශ්‍ර භූමිය වෙත පැමිණි දෙදෙනා රුක් සෙවණක් යට පිහිටි බංකුවක් මත අසුන්ගත්හ. මීට පෙර දිනයක ද මේ ආකාරයෙන් ම දෙදෙනා පැමිණි විට අවට සිටින පිරිස් ඔවුන් දෙස බලන ආකාරයෙන් ම අද දින ද බැලුම් හෙළූහ. වෙසෙසින් ම උද්‍යානයේ විවිධ කටයුතුවල නියැළෙමින් සිටින හමුදා සෙබළු සුපුරුදු පරිදි ඔවුන්ගේ රහස් රාජකාරියේ නියැළුණහ. ඒ කිසිවක් මායිම් නොකරන්නට දෙදෙනා ම අදිටන් කරගත්තේ මීට පෙර දිනක පැමිණි මොහොතේ අවට සිදුවන්නේ කුමක් ද යන්න ප්‍රතිෂ්ඨ සචේතනීට පවසා තිබූ බැවිනි. එදා මෙන් ම අද ද ඔවුන් දකින අය මෙන් ම ඔවුන් දෙස වුවමනාවෙන් බලා සිටින අය ද මේ දෙදෙනා පෙම්වතුන් යුවළක් යැයි අදහස් කිරීම කිසිවකුට වැළකිය නොහැකි ය.

‘‘කෝ ඉතිං... ගන්නකො කෝල් එකක්...’’

බංකුවේ අසුන්ගත් සැණින් සචේතනී ප්‍රතිෂ්ඨ වෙත පැවසුවා ය.

‘‘මා නොම්මරේ දෙන්නං... ඔයා කතා කරන්න හරි ද... මං මේ කියන්නෙ වැඩේ කෙරෙන විදිය. තේරුණා ද...?’’ යැයි පැවසූ ප්‍රතිෂ්ඨ සිය දුරකතනයේ සටහන් කරගෙන තිබූ අංකය සචේතනී වෙත පැවසුවා ය.

‘‘අනේ මංද... මටනං නිකං මොකද්ද මොකද්ද වගේ ප්‍රතිෂ්ඨ...’’

ඇය යළිත් පසුබසින්නට වුවා ය.

‘‘මං කියන්න ද... මගේ ෆෝන් එකෙං ගන්න. එතකොට අවුලක් නෑ නෙ...’’

ප්‍රතිෂ්ඨ එසේ පැවසුවේ ඇගේ යහපතට මෙන් ම එම දුරකතන සංවාදය සම්පුර්ණයෙන් ම සිය දුරකතනයේ ස්වයංක්‍රියව ම පටිගත කෙරෙන බව ඔහු දන්නා බැවිනි. එවිට දුරකතන සංවාදයෙන් අනතුරුව සචේතනී පවසන්නේ සත්‍යයක් ද මුසාවක් ද යන්න සහ අනෙක් පසින් පිළිවදන් සපයන්නාගේ තත්ත්වය ද යම් පමණකට අවබෝධ කරගත හැකි ය.

‘‘අන්න... ඒක නං හොඳයි. නැත්තං ඔය හාමුදුරුවො පස්සෙ මට කතා කරන්නත් බැරි නෑ.’’



සචේතනී එවර පසු නොබා ප්‍රතිෂ්ඨගේ අදහසට එකඟ වූවා ය. එමෙන් ම ඇය ප්‍රතිෂ්ඨ කෙරෙහි ස්තුති පුර්වක බැල්මක් ද හෙළුවා ය. එම බැල්මෙහි සටහන්ව තිබුණේ ‘ඔයා තමයි මගේ එකම ගැලවුම්කාරය ප්‍රතිෂ්ඨ’ යන වදන් පෙළ නොවේද යන්න වටහාගැනීමට ප්‍රතිෂ්ඨ අසමත් නොවී ය.



දුරකතනයේ අංක සටහන් කළ ප්‍රතිෂ්ඨ එය සවනට ළංකර අසා සිටියේ අනෙක් පස දුරකතනය නාද වනවා ද නැද්ද යන්න නිසැකව දැනගැනීම පිණිස ය. ඔවුන් පසු කර ගියේ තත්ත්පර පහකටත් අඩු කාලයකි.

‘‘ආහ් ආහ්... ෆෝන් එක රිං වෙනව... ආ.. අරගෙන කතා කරන්න.’’

අනෙක් පස දුරකතනය නාද වන හඬ සවන වැකුණ සැණින් ප්‍රතිෂ්ඨ කඩිනමින් ම  සිය දුරකතනය සචේතනී වෙත පෑ ය.

‘‘චකිතෙන් වගේ කතා කරන්න එපා. බය නැතුව කතා කරන්න.’’

දුරකතනය සචේතනි වෙත දෙන අතර ප්‍රතිෂ්ඨ ඇය දිරිමත් කළේ ය.

තවත් තත්පර හත අටක කාලයක් ඔවුන් දෙදෙනා මතු නොව අවට පරිසරය ම පසු කර ගිය සැණින් සචේතනීගේ උවනෙතේ ඉරියව් වෙනස් විය. ඒ වෙනස කියා පෑවේ ඇගේ අත රැඳි දුරකතනයෙන් නික්ම ගිය සංඥාව අනෙක් පස පිහිටි දුරකතනය  වෙත ලැබී, එපස සිටින කිසිවකු ඒ සඳහා පිළිවදන් සැපයීමට සුදානම් වන ආකාරය යි.

ඉවර නෑ...

 
කළ යුත්තේ කුමක් ද...? - (ජයසිරි අලවත්ත)ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2022/08/26    


වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්
 
 
 
වජ්ජා’වජ්ජ 31: මං දැං ඉන්නෙ පනහෙ කණුව කිට්ටුව (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 30 : නීතිය කියන්නෙ වල් වැදුණු සංකල්ප ගොන්නක් - (ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 28 : අවුරුද්දක් ඉවසන්න - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 27 : දීපු බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ම වෙනව නෙ... - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 26 : 'ඔවු... අපිට අවම විනය ක්‍රියා පටිපාටියකට යන්න වෙනව' -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා‘වජ්ජ 25 : මං බඳිද්දි මට අවුරුදු විසි එකයි -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 24 - අපි ජීවත් වෙන්නෙ ආසියාතික කලාපෙ නොදියුණු ම රටක - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 23 - ගඩොල් තාප්ප කැඩුවට මිනිස් තාප්පෙකින් අපි හැමෝ ම වට කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 22 : 'දැං වැඩේ හොඳට ම පත්තු වෙලා ඉවරයි'

වජ්ජා’වජ්ජ 21 - ඔයා දන්නව ද ඒ කවුද කියල...? - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා